එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී රජයේ වාහන, ගුවන් යානා සහ හෙලිකොප්ටර් ඇතුළු රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතය වළක්වාලමින්, ඒ සඳහා දැඩි රෙගුලාසි පනවමින් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එසේම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය සේවකයන් බඳවාගැනීම, මාරු කිරීම හා උසස් කිරීම් ආදී කටයුතුවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් තවත් චක්රලේඛයක්ද ඔහු විසින් නිකුත්කර තිබේ.
මෙම චක්‍රලේඛ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, පළාත් ආණ්ඩුකාර ලේකම්වරුන්ට හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්ට දැනටමත් නිකුත් කර තිබේ.
ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇති අගමැති, කථානායක, සියලු අමාත්‍යවරුන්, විපක්ෂනායක, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය අමාත්‍යවරුන් රජයේ නිල රථයක් භාවිත කරයි නම්, ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට රජය කටයුතු කොට තිබේ.
එසේම මැතිවරණයට ඉදිරිපත්ව ඇති පළාත් සභා නියෝජිතයන්ද අදාළ පළාත් සභාවෙන් ලබා දී ඇති නිල වාහන භාවිත කරයි නම් ඔවුන්ද රුපියල් ලක්ෂයක මුදලක් රජයට ගෙවිය යුතුය.
මීට පෙර රජයේ තනතුරක් හොබවා ඒ හරහා ලැබුණු වරප්‍රසාද අනුව නිල රථයක් මැතිවරණයට භාවිත කරයි නම් ඒ සඳහාද මුදල් අය කරගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කරයි. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබා දී ඇති නිල රථය ඔහු මැතිවරණයට භාවිත කරයි නම් ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් රජයට ගෙවිය යුතු වෙයි.
අපේක්ෂකයන් මෙන්ම පක්ෂ වශයෙන් සිය මැතිවරණ ව්‍යාපාරයට රජයේ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරයි නම් ඒ සඳහාද මුදල් අය කිරීමට අවශ්‍ය බලය චක්‍රලේඛවලින් අදාළ අංශ වෙත පවරා ඇත.
මෙම සියලු වියදම් අපේක්ෂකයන් හෝ පක්ෂ විසින් පෞද්ගලිකව දැරිය යුතු අතර, හිටපු මන්ත්‍රීවරුන්ට පසුගිය පෙබරවාරි මස ලබාදුන් නිල වාහනද නැවතත් රජයට ලබාදිය යුතු බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.
මේ අතර අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩලවල සිටින පෞද්ගලික ලේකම්වරුන්ට පමණක් නිල රථයක් ලබාදිය යුතු බවත්, කාර්යමණ්ඩලය සතු අනෙකුත් නිල වාහන ඊයේට (20දාට) පෙර නැවතත් රජයට බාරදිය යුතු බවටත් ලේකම්වරයා නිකුත් කළ තවත් චක්රලේඛයකින් සඳහන් කරයි. එසේම නිල වාහන ආපසු ලබාගත් පෞද්ගලික කාර්යමණ්ඩලයේ එක් අයෙකු සඳහා රුපියල් 30,000 ක දීමනාවක් ලබාදිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.
ඊයේ දිනය වනවිට එසේ නිල වාහන ලබාදීමට කිසියම් වූ පුද්ගලයෙකු කටයුතු කර නොතිබුණේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම යටතේ නඩු පවරන බවද ලේකම්වරයා සඳහන් කරයි.
මැතිවරණ කාලසීමාවකදී රාජ්‍ය සේවකයන් බඳවාගැනීම, උසස් කිරීම හා මාරු කිරීම් ආදිය කරන්නේ නම් එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව සිදුකළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි.
එසේ වුවද යම් යම් පිරිස් එම තත්ත්වයන්ට පටහැනිව කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත්, මැතිවරණය සාර්ථකව පවත්වාගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට සහාය දැක්වීම සියලුම රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවත් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.