(UPDATE) පානදුරදී ජනතා විමුක්ති පෙරමුණේ නාට්‍ය කණ්ඩායම හා ඇති කරගත් ගැටුමට සම්බන්ධ සියළු සැකකරුවන් අද (14 දා) පානදුර අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය. ඒ අනුව බස්රථ සේවකයන් දෙදෙනා රුපියල් 5,000 මුදල් ඇප දෙකක් මත හා රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මතද, නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් හයදෙනා රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප දෙකක් මතද නිදහස් කර ඇත.
.............................................................................................
ජනතා විමුක්ති පෙරමුණේ නාට්‍ය කණ්ඩායම පානදුර පුද්ගලික බස් නැවතුම්පොළේ නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී බස්නැවතුම්පොළේ සේවකයන් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිගගොස් ඇති වූ ගැටුමට සම්බන්ධ අටදෙනෙකු අද (14දා) පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් නාට්‍ය කණ්ඩායමේ හය දෙනෙකු සහ බස්රථ සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මේ පිළිබඳව දෙපාර්ශවය විසින්ම පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කර සිටි අටදෙනා පොලිස් අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අද පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.