ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය නොමැතිව ගිනිපෙට්ටි නිෂ්පාදනය කර බෙදාහරින කර්මාන්ත ශාලාවකට අද (09දා) පස්වරුවේ මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මෙලෙස මුද්‍රා තබා ඇත්තේ, නිට්ටඹුව, පනාවල පිහිටි කර්මාන්ත ශාලාවකටය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(1) වගන්තියට අනුව ගිනිකූරු නිෂ්පාදනය කර අලෙවි කිරීමේදී එයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය තිබිය යුතුය. නමුත් මෙම කර්මාන්ත ශාලාව පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව ගිනිපෙට්ටි නිෂ්පාදනය හා අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වැටලීම සිදුකළ බව එම අධිකාරිය සඳහන් කරයි.
මේ අනුව රුපියල් 120,480ක් වටිනා ගිනි පෙට්ටි 28,080ක් අත්අඩංගුවට ගත් බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් ලබන 17 වැනිදා මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
පුෂ්පකුමාර මල්ලවආරච්චි