උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණ මාර්තු 31 වන විට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා අද (14දා) පැවසීය.
ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටත් කර තිබෙන මෙම පළාත් සභා තුනෙන් මහජන සේවයක් සිදු නොවන බවත්, මාර්තු 31 වන විට මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධව ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ සැප්තැම්බර් වන විට උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට නියමිත බවත්, ඉන් පසුව එම පළාත් සභාව ආණ්ඩුකාරවරයාගේ පාලනයට යටත් කරන්නේදැයි ආණ්ඩුව පැවසිය යුතු බවත්ය.
ජාත්‍යන්තරයෙන් හා දෙමළ ඩයස්පෝරාවෙන් එල්ලවන බලපෑම් හමුවේ උතුරු පළාත් සභාව ආණ්ඩුකාරවරයෙකුගේ පාලනයට යටත් කිරීමට තරම් ශක්තියක් වත්මන් ආණ්ඩුවට නැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.