පරාජය විඳගැනීමට නොහැකි පාර්ශ්ව තමාට එල්ල කරන අභූත චෝදනා පිළිකුලෙන් යුතුව හෙළාදකින බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පැවසීය. දියවඩන නිලමේ ඡන්ද විමසීම සඳහා තමා භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාදීමට උත්සාහ කළ බව පැවසීම අවුකන රජමහා විහාරයේ හිමියන් ද්වේශසහගත සිදුකළ කටයුත්තක් බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
දියවඩන නිලමේවරයා තේරීම වැනි බෞද්ධ කටයුතුවලදී එවැනි පාර්ශ්වයන්ගේ ද්වේශසහගත දායකත්වය පිළිබඳව බෞද්ධයෙකු ලෙස තමා කනගාටු වන බවද නිලංග දෑල මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා,
අවුකන රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේ ඡන්දය ප්රකාශ කිරීමට ප්රථම විරෝධතාව දක්වන අවස්ථාවේ පැවසුවා මා මුදල් දෙන්න උත්සාහ කළා කියලා. එය ද්වේශසහගතව සිදුකළ ප්රකාශයක්. එතැනදි උන්වහන්සේ කීවේ ලක්ෂ තුනක් දෙන්න උත්සාහ කළ කියලා. ඉන් පිටතට පැමිණි පසු උන්වහන්සේ ප්රකාශ කළේ ලක්ෂ පහක් දෙන්න හැදුවා කියලා. උන්වහන්සේ මහජනතාව නොමග යවන අයුරින් ප්රකාශ කර තිබෙනවා.
එය ද්වේශසහගත ක්රියාවක්. ඡන්ද විමසීමෙන් පසුව උන්වහන්සේ පිටතට පැමිණියේත් පරාජිත අපේක්ෂකයෙකු සමගින්. එතැනින්ම පැහැදිලි වෙනවා උන්වහන්සේ කා සමගද සිටියේ කියා. ඒ අපේක්ෂකයා සමග එකතුව මෙවැනි ප්රකාශ කිරීම හෙළාදකිනවා. ඒ වගේම බෞද්ධයො විදිහට අපි කනගාටුවෙනවා මෙවැනි කටයුතුවලට උන්වහන්සේ මේ ආකාරයේ දායකවීම් පිළිබඳව.* යැයි පැවසීය.