පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ප්‍රතිඵලය පිළිබඳව අසතුටු නොවන්නයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. මෙවර මැතිවරණයෙන් ජයගත් නිදහස් පක්ෂ අපෙක්ෂකයන් හා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හමුවෙමින් අද (15දා) ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණයන්ට බාහිරව කටයුතු කළොත් අනිවාර්යෙන්ම ඔවුන් පක්ෂයෙන් ඉවත්කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
“මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව කිසිසේත් අසතුටු වීමට හෝ පසුබෑමට, දුක්වීමට අවශ්‍ය නැහැ. ප්රජාතන්ත්රවාදය පවතින ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ පරාජය වීම, ජයග්‍රහණය කිරීම සාමාන්‍ය තත්වයක්. පක්ෂය විසින් ගන්නා තීන්දුවට බාහිරව, පක්ෂ තීන්දුවට විරුද්ධව කවුරු හෝ සභා පිහිටුවීමේදී අපේ මන්ත්‍රීවරු තනි තීන්දු තීරණ අරගෙන කටයුතු කරලා තිබුණොත්, පක්ෂ තීන්දුවලට පටහැණිව සභාපතිවරු, උපසභාපතිවරු තේරිමේදී ඡන්දය පාවිච්චි කරලා තිබුණොත්, කිසිදු සමාවක් නැහැ ඒ අයව ස්ථීරවම අස් කරනවාමයි. මේ පනත අනුව බොහොම පහසුයි ඉවත් කරන්න.
අපිට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙනවා. අරමුණක් තිබෙනවා. එහිදි සංහිඳියාව, ජාතික සමගිය, ප්රජාතන්ත්රවාදය, නිදහස මේ වගේ කරුණු ගණනාවක් ලැයිස්තුවේ තිබෙනවා. ජාතික දේශපාලනය වගේම ප්‍රාදේශීය දේශපාලනයේදී, පළාත් සභාවේ දේශපාලනයේදී, ඒ ලැයිස්තුවේ තිබෙන ප්‍රමුඛතාවය තමයි දූෂණය, වංචාව, හොරකම, නාස්තිය නැතිව රට දියුණු කරනවා කියන එක. මන්ත්‍රීවරුන් විදියට පත්වුණ ගමන්ම ලක්ෂ 50 ට, ලක්ෂ 100 ට වෙන්දේසි වෙනවා නම් අපේ අරමුණ කොතැනද? එහෙම වෙනවා නම් පළමුවැනි සභා රැස්වීමෙන්ම අපි දූෂිත වෙලා”