නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් ඇතිවන විෂ ආම්ලික තත්ත්වයක් ඉහළ අහසේ වලාකුළුවල තැන්පත්ව ඇති බවත්, එම වලාකුළු නිරිතදිග මෝසම් තත්ත්වයත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ දෙසට ගමන් කිරීමේ අවදානමක් ඇති බවත් පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතා පෙන්වා දෙයි.
හෙතෙම මේ බව පෙන්වා දුන්නේ රාජගිරිය, වැලිකඩවත්ත පාරේ පිහිටි කැෆේ සංවිධානයේ කාර්යාලයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඊයේ (13දා) කැඳවන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීමේදී ගෙන්දගම්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්රජන් ඔක්සයිඩ් මෙන්ම බැරලෝහ පිටවන බවට සඳහන් කළ ආචාර්යවරයා, එලෙස පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් ඉහළ අහසේ වලාකුළු සමග එක්ව සල්ෆියුරික් අම්ලය සාදන අතර, නයිට්රජන් ඔක්සයිඩ් තුළින් නයිට්‍රික් අම්ලය සාදන බවද පෙන්වා දුන්නේය.
හෙතෙම සඳහන් කර සිටියේ මේ වනවිට නොරොච්චෝලේ අවට ප්‍රදේශවල ගස්වැල් ඇතුළු ස්වාභාවික පරිසරය වෙත දැවැන්ත පාරිසරික තර්ජනයක් එල්ල වී ඇති බවත්, එහිදී ප්‍රදේශය ආශ්රිත ඉහළට වැඩී ඇති ශාකවල ඉහළ ශාක පත්‍ර කහ පැහැගැන්වී ඇති බවට නිරීක්ෂණය කළ හැකි බවත්ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරතවූ ආචාර්ය රනිල් සේනානායක මහතා,
"මෙහි අවාසනාවන්ත තත්ත්වය මෙම විෂ ආම්ලික තත්ත්වයන් සහිත වලාකුළු නිරිතදිග මෝසම් තත්ත්වයත් සමග අනුරාධපුර දෙසට ගමන් කිරීමයි. කිලෝමීටර් 06 -6.5ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙම වළාකුළු අනුරාධපුර දෙසට ගමන් කිරීමේදී එම ගමන් පථය තුළ අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධියද පිහිටා තිබෙනවා. ලොව පැරණිතම වෘක්ෂය මෙන්ම
ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන්මල්කඩ බඳු ජය ශ්‍රී මහ බෝධියට පවා මෙම ආම්ලික වලාකුළු මගින් හානියක් සිදුවිය හැකියි. මීට අමතරව මුහුදු ප්‍රදේශ ආශ්‍රිතවද කහ පැහැති ආම්ලික තත්ත්වයක් වර්ධනය වන බවත් සඳහන් කළ හැකියි. ඒ අනුව, මෙවැනි හානිදායක ගල් අඟුරු බලාගාර නැවත තැනීමට කටයුතු කිරීම දැඩි පාරිසරික තර්ජනයකට හේතු වෙනවා" යැයිද පෙන්වා දුන්නේය.