නීතිය කඩකර පළිගැනීමේ කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සියලු රටවැසියන්ගෙන් අද (09දා) පෙරවරුවේ ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ යුද්ධය දිනූ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන බවයි.
නීතිය ක්රියාත්මක කිරීම සඳහා උපරිම සහාය ලබාදෙන්නැයි හෙතෙම පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කළේය.
“දැන් මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්රහණය තහවුරු වෙලා ඉවරයි. අද පාන්දර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව මම ගිහින් මුණගැහුණා. එතුමා සමග කළ සාකච්ඡාවේදී කිව්වා ජනාධිපතිකම අපට භාර දෙනවා කියලා.
යුද්ධය අවසන් කළ ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ඉතිහාසයට අයිතිවෙනවා. ඒ ගැන අපි ගෞරව කරනවා. නමුත් ජනතාව වෙනසක් ඇති කරන්න තීරණය කර තියෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය අලුත් අතකට හරවන්නත් යහපාලනයක් ඇති කරන්නත් ඒ වෙනස ඇති කළේ.
ඒ නිසා කවුරුවත් මේ අවස්ථාවේදී නීතිය තමන්ගේ අතට අරගෙන නීතිය කඩ කරලා පළිගන්න යන එකට අපි විරුද්ධයි. අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නීතිය සම්පූර්ණයෙන් ක්රියාත්මක කරන්න කියලා. පොලිස්පතිතුමාත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මතය අනුව හමුදාව උවමනා වුණොත් යොදවන එක කරන්න පුළුවන්. මෛත්රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස දිවුරුම් දීලා රට භාරගන්න අවස්ථාවේ රට අස්ථාවර කරන්න බෑ.
කාගෙන්වත් පළිගන්න බෑ. මම හැමකෙනෙක්ගෙන්ම ඉල්ලා සිටින්නේ අපි නව ජනාධිපති ලෙස මෛත්රීපාල සිරිසේන මැතිතුමාට දිවුරුම් දීලා ජනාධිපති ධුරය භාරගන්න ඉඩ දෙමු.
කවුරු හරි නීතිය කඩ කරලා පළිගන්න හදනවානම් ඒකත් වළක්වමු. නීතිය 100% ක් ක්රියාත්මක කරන්න කියා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා." යැයි රනිල් වික්රමසිංහ මහතා පවසා සිටියේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා