වර්තමානය වනවිට නිවසටත් වඩා පාසල දරුවන්ට සුරක්ෂිතම ස්ථානය බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දිනපතා මාධ්‍ය වාර්තා දෙස බලන විට නිවස තුළ දරුවාගේ සුරක්ෂිතභාවය පිළිබඳ බරපතළ අභියෝගයක් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහදස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “දරුවන්ට දිය යුතු සම්පත් දෙකක් තියෙනවා. ඒතමයි දැනුම සහ අධ්‍යාපනයත් හැදිච්චකම සහ ගුණවත්කම. අද අපේ රටේ දරුවාට තිබෙන ඉතාම සුරක්ෂිතම ස්ථානය පාසලයි. දවසේ පැය 24න් දරුවෙක් පාසලේ සිටිනේ පැය හයක් පමණ කාලයක්. නිවස තුළ දරුවාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බලවත් අභියෝගයක් තිබෙනවා.
පාසලේදී දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝගයක් වී තිබෙන්නේ කලාතුරකින්. ඇතැම් වෙලාවට දරුවන්ට නිවස ආරක්ෂිතද කියන ප්රශ්නය තිබෙනවා. පොලිස් වාර්තා දෙස බලනවිට දරුවන්ට නිවස ආරක්ෂිත නැහැ කියන මතය පැහැදිලි වෙනවා. පාසලෙන් බැහැර සමාජය කොතරම් අභියෝගයක් වී තිබෙනවාද? අද සමාජය තුළ මිනිස්කමට වඩා රුපියල් ශත වෙනුවෙන් දරුවන් සහ මිනිසුන් වෙනුවෙනුත් මුදලේ අගයකින් කටයුතු කරනවා.“
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (01දා) ට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව සංවිධානය කර තිබූ රිද්ම සැරිය ලෝක ළමා දින සැමරුම් ප්‍රසංගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීය.
කොළඹ නගරයේ මහල් නිවාස තුළ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්හි දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් ලෙස රිද්ම සැරිය ප්‍රසංගය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා