පූජාච පූජනීයානං යන බුදු වදනට අනුව රට ත්රස්ත්රවාදයෙන් මුදාගැනීමට ජීවිත පූජා කළ රණවිරුවන්ට ජාතියේ ගෞරවය හා ප්රණාමය හිමිවන බවත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් නිවන් දකින්නට පෙර තව එක්වරක් මේ මාතෘ භූමියේ උපදින්නට අවස්ථාව ලැබේවායි තමා ප්රාර්ථනා කරන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
අද (20දා) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී ජාතික රණවිරු දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධය හේතුවෙන් සිවිල් ජනතාව ලක්ෂයක් පමණ ද රණවිරුවන් විසි හත්දාහකගේ පමණද ජීවිත අහිමි වූ බව ද හැත්තෑදහසක් පමණ ආබාධිත වූ බව ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළේය.
නිදහස් සාමකාමී දේශයක් ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට කැප වූ ආරක්ෂක අංශවල පිරිස් වගේම එයට එක් වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තම පියවරු, සහෝදරයන්, මවුවරුන් ද එලෙස වීර චරිත ලෙස සලකන බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙවර රණවිරු දින සැමරුම් උළෙලේ දී රණවිරු පවුල්හි සාමාජිකයන් සහ ආරාධිත අමුත්තන් එකම මට්ටමේ වේදිකාවල හිඳිමින් ස්මාරකය අසලම රණවිරු දිනය සැමරීම විශේෂත්වයක් වූ අතර පැමිණි සියලුම රණවිරු ඥාතීන්ට ස්මාරකයට පූජෝපහාර දැක්වීමට අවස්ථාව ලබාදීම ද විශේෂත්වයක් විය.
ජාතික රණවිරු දින සැමරුම රණවිරු සේවා අධිකාරිය සංවිධානය කළ අතර, අග්රාමාත්ය රනිල් වික්රසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්රමුඛ ත්රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක අංශ නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.