ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා දේශීය නිරීක්ෂණ සංවිධාන හතරක් විසින් නිරීක්ෂණයක් 27,300 ක් සහ ජංගම නිරීක්ෂණ රථ 935 ක් යෙදවීමට සැලසුම් කර තිබේ.
මෙම පිරිසෙන් නිරික්ෂණයන් 13,000ක් පැෆරල් සංවිධානය විසින් යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, මීට අමතරව ජංගම නිරීක්ෂණ රථ 360 ක් යෙදවීමටත් කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
තම සංවිධානයද නිරීක්ෂකයන් 5500 ක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව ජංගම නිරීක්ෂණ රථ 100 ක් යෙදවීමටත් කටයුතු කරන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නීරික්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානය විසින් නිරීක්ෂකයන් 1100 ක් යෙදවීමට කටයුතු කරන බවත් මීට අමතරව ජංගම නීරක්ෂණ රථ 15ක් යෙදවීමට කටයුතු කරන බවද මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කළේය.
තම සංවිධානයද නිරීක්ෂකයන් 7700 ක් යොදවන බවත්, මීට අමතරව ජංගම නිරීක්ෂණ රථ 460 ක් යොදවන බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂකයන් ලෙස විශේෂ කණ්ඩායමක් යෙදවීමට කටයුතු නොකරන බවත්, එහෙත් මැතිවරණ රාජකාරීවල නිරතවන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නිරීක්ෂණ කටයුතු සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් අමරදාස මහතා සඳහන් කළේය.