නියඟයේ පීඩා මැකීමට ඇ.ඩො.මි 1500ක් අවශ්‍යයි
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.මීට අමතරව පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා තවත් ජල බවුසර් 600කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු මාසය දක්වා පවතින බවට අනාවැකි පළ කර තිබෙන බවත්, මේ නිසා ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලබාදීමට කැමැත්ත පළකර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් සොයාගත යුතු බවත්, මීට අමතරව අලුතින් බවුසර් 600 ක් මිලදී ගැනීමට සිදුවන බවත් ඔහු පවසා සිටියේය. මෙම මුදල් සොයාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටවල් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත්, එතෙක් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය හරහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මුදල් ලබාදීමට තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙන බවත්, වාරි ජල මූලාශ්රවල පවතින ජලය ප්‍රමාණවත් වන්නේ මාස 03කට අධික කලයකට පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා, විදුලිබල මණ්ඩලය මේ වනවිට අර්බුදයට මුහුණදීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

