2015 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා බාරගැනීම අද (06දා) සිට 13 වැනිදා දහවල් 12.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් විසින් දිස්ත්රික් මට්ටමින් නාමයෝජනා ලබාගැනීම සිදුකරන අතර, මන්නාරම, වවුනියාව, මුලතිව් පරිපාලන දිස්ත්රික්ක තුන එකතු වී සකස් කර තිබෙනා වන්නි මැතිවරණ දිස්ත්රික්කය වෙනුවෙන් වවුනියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදීත්, කිලිනොච්චිය, යාපනය පරිපාලන දිස්ත්රික්ක එකතු වී සකස් වී තිබෙනා යාපනය මැතිවරණ දිස්ත්රික්කයේ නාමයෝජනා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදීත්, දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්රික්කයේ නාමයෝජනා අම්පාර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදීත් බාරගැනීම සිදුවේ.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලට වෙනත් අපේක්ෂකයන් ප්රවර්ධනය කිරීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව ස්වාධීන කණ්ඩායම් විසින් පවත්වාගෙන යන ප්රචාරක කාර්යාල තුළ වෙනත් අපේක්ෂකයෙකු ප්රවර්ධනය කිරීමට අදාළ පෝස්ටර, බැනර් ප්රදර්ශනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත්, ඡන්ද ගණන් කිරීමේදී ලබාගෙන තිබෙනා ඡන්ද ප්රමාණය ප්රමාණවත් නොවීම නිසා මන්ත්රී ධුරයක් හිමි නොවනවානම්, වෙනත් පක්ෂවල මනාප ගණන් කිරීම, නිරීක්ෂණය කිරීමට ඉඩ ලබානොදෙන බවත් පවසා සිටියේය.
ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් 12ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.
නාමයෝජනා භාරදීම ආරම්භ වන අද (06දා) දිනයේ සිට පැෆරල් සහ කැෆේ සංවිධාන නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව එම සංවිධාන නියෝජිතයන් සඳහන් කරයි.
මේ අනුව නාමයෝජනා භාරදීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 140ක් යොදවා සිටින බව කැෆේ සංවිධානය පවසයි.
පැෆරල් සංවිධානයේ ප්රා‘දේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්රියාකරන නිරීක්ෂකයින් නාමයෝජනා ලබාදීම නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙන බවද එම සංවිධානය සඳහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නාමයෝජනා පත්ර සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ තිබේ.
මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවිට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මහජන නියෝජිතයන්ට හා දිස්ත්රික් හා ආසන සංවිධායකවරුන්ට අවස්ථාවක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට අයදුම්පත් 14,000 ක් යොමුකර තිබෙන බවද වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මහජන නියෝජිතයන්ට ඉදිරි මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර, නාමයෝජනා පත්ර පිළිබඳව අවසන් තීරණය ගැනීමට අද (06දා) එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් රැස්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා පත්ර සකස් කිරීම අවසන් අදියරට පැමිණ තිබෙන අතර, මේ වනවිට බොහෝ දිස්ත්රික්කවල දිස්ත්රික් නායකයන් ලෙස කටයුතු කරන අපේක්ෂකයන්ගේ නම්ද ප්රකාශයට පත්කර තිබේ.
විද්වතුන්ට, කාන්තා තරුණ නියෝජනයට වැඩි අවස්ථාවක් ලබාදෙමින් ඉදිරි මැතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.