පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 332 ලබාදීමේදී දැනට වසා දමා ඇති සියලුම රෝහල් යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් යොමුකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II අමල් හර්ෂ ද සිල්වා මහතාට නියෝග කළේය.
එමෙන්ම දිවයින පුරා පිහිටි රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථානවලටද වෛද්‍යවරුන් යොමුකරන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, උතුරු මැද පළාතේ තිත්තගෝනෑව, ඇතාකඩ හා සිංහපුර යන ග්‍රාමීය රෝහල්වලටද වෛද්‍යවරුන් යොමුකරවීමට පියවර ගන්නා බවයි.
දිවයින පුරා සියලුම සෞඛ්‍ය ආයතනවල අනුමත තනතුරු සංඛ්‍යාව ප්‍රතිශෝධනය කිරීමටද මෙහිදී තීරණය විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභාවල සෞඛ්‍ය අමාත්‍යාංශ සමග සාකච්ඡා කර වාර්තාවක් සකස්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දුන්නේය.