මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී සිටින අපේක්ෂකයන් කිහිප දෙනෙකු තම මැතිවරණ කටයුතු සඳහා ආයුධ සන්නද්ධ පාතාල සාමාජිකයන් යොදාගන්නා බවට හෙළිවී තිබෙන බැවින් එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම ආයුධ සන්නද්ධ පිරිස අතර නමගිය අපරාධකරුවන්ද සිටින බවට හෙළිවී තිබෙන අතර, ආසන්න වශයෙන් විවිධ අපේක්ෂකයන් යටතේ සිටින ආයුධ සන්නද්ධ පිරිස 100කට අධික බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
මෙම සියලුදෙනා අතර පසුගිය කාලයේ මෙරට තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධව රටින් පැනගොස් සිටි 12 දෙනෙකුද සිටින බවට පොලීසිය හෙළිකරගෙන තිබේ.
විදේශගත වී සිටි මෙම පිරිස ප්‍රධාන පක්ෂවලට අයත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු විසින් මැතිවරණ සමයේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සහ දේශපාලන කටයුතු සඳහා මෙරටට ගෙන්වා තිබෙන බවද හෙළිවී ඇත.
මෙම පිරිසට අමතරව තවත් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. එලෙස පැමිණෙන පිරිස සහ දැනට රට තුළ සිටින පිරිස විදේශගත වීම වැළැක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අද ට සඳහන් කළේය.
එමෙන්ම අපේක්ෂකයන් සමීපයේ සිටින නීතිවිරෝධී අවිආයුධ සහිත සන්නද්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලීසිය දැනුම්වත් කරන ලෙසටද පොලීසිය ඉල්ලීමක් කරයි.