දුම්රිය මැදිරි සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සපයාගැනීමට මුදල් නොමැති බව සඳහන් කරන දුම්රිය දෙපාර්තමේන්තුව හිටි හැටියේම රුපියල් ලක්ෂ තුන්දහසක් වියදම් කර කෞතුකාගාරයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව කඩුගන්නාව, බණ්ඩාරවෙල, රත්මලාන සහ රඹුක්කන යන ප්‍ර‘දේශවල කෞතුකාගාර පවතින බවත්, මේ නිසා දැනට දෙපාර්තමේන්තුවට කෞතුකාගාරවල ප්‍රශ්නයක් නොමැති බවත් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් මැදිරි සකස් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා එම කටයුතු වැඩි මුදලට පෞද්ගලික අංශයට පවරමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා කෞතුකාගාරයක් පසුව ඉදිකරගන්නා ලෙසත්, කෞතුකාගාරයක් ඉදිකිරීමට වියදම් කරන රුපියල් ලක්ෂ 3000 ක මුදලින් දුම්රිය මැදිරි සකස් කිරීමට අවශ්‍ය පහසුකම් ඇති කරන ලෙසත් එම සන්ධානය ඉල්ලා සිටියි.
එසේ නොමැති වුවහොත් වැඩිකල් නොගොස් සමස්ත දෙපාර්තමේන්තුවම කෞතුකාගාරයක් බවට පත්විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.