පාඩු ලබන දුම්රිය සේවය තුළ දිගින් දිගටම සිදුකරන වැඩවර්ජන සංස්කෘතියෙන් බැහැර නොවන්නේ නම්, පෞද්ගලික බස් සේවය හා සමාන වූ විකල්ප ක්‍රමවේදයකට යෑමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශක්‍ර දේවේන්ද්‍රයා පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් පහළට බැස පැමිණියද ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති අතර පවතින තරගය සහ ආරවුල් නතර කිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.
දුම්රිය තදබදයට විසඳුමක් ලෙස කුරුණෑගල දුම්රිය ස්ථානයේ ඉදිකළ නව දුම්රිය මගී වේදිකාව සහ දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (20දා) සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය. මේ සඳහා රුපියල් කෝටි 06ක මුදලක් වැයකර ඇත.
“ යම් ආකාරයක සාධාරණත්වයක් මගී ජනතාව දුම්රිය සේවයට ඉටුකළ යුතු වෙනවා. මොකද තුට්ටු දෙකට අශ්වයා අරගෙන වැට උඩින් පන්නන්න අමාරුයි. දුම්රිය සේවය විශාල වශයෙන් පාඩු ලබාගෙන දුවන නිසා වගේම දුම්රිය සේවයේ වැඩ කරන අයගේ ඉල්ලීම්වලත් අඩුවක් නැහැනේ.
මමයි, අපේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමයි කොච්චර උත්සාහ කළත් එක පාරටම කෝච්චි නවතිනවා. මේ වාගේ සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නෙ. මේ සංස්කෘතියෙන් අපි දැන් බැහැරව යන්න ඕන. ලොකෝ මොටිව් සේවකයෝ ස්ට්‍රයික් කරන කොට ඔන්න ඒකට ස්ටේෂන් මාස්ටර්ලාත් එකතු වෙනවා කියනවා. ඊළඟට ලිපිකරුවොත් මේකට එනවා. දුම්රිය නියාමකවරුත් මේකට එකතු වුණාම දුම්රිය සේවයේ එකතු නොවුණු කෙනෙක් නැහැ.
කවුරු හරි කීයක් හරි ගත්තොත් අපිත් ඒකෙම එල්ලිලා කීයක් හරි ගමු කියන පදනමේ තමයි දුම්රිය සේවකයොත් ඉන්නේ. මේ ආකල්පවලින් බැහැර වෙනකල් කොච්චර දුම්රිය එංජින් ගෙනාවත්, මේවගේ දුම්රිය ස්ථාන හැදුවත් වැඩක් නැහැ.
මොකද දුම්රිය සේවය අඩපණ වුණාම ඒ ගැන විශ්වාසය බිඳිලා ජනතාව බස් සේවයට යොමු වෙනවා. ලංගම ස්ට්‍රයික් කළොත් ඕන තරම් ප්‍රයිවට් බස් තියෙනවා. හැබැයි කෝච්චි ස්ට්‍රයික් කළොත් ප්‍රයිවට් කෝච්චි නැහැ. ඒ ගැනත් අපි කල්පනා කළ යුතුයි. දුම්රිය සේවයට මෙච්චර කාලයක් විකල්පයක් තිබුණේ නැහැ. අපි ඒකාධිකාරියක් ඇතිකරලා දුන්නා.
මේ විදියට දුම්රිය සේවය ගැන ජනතාවට විශ්වසයක් නැති වුණොත් ජනතාව වෙනත් විකල්ප සොයාගෙන යයි. ජනතාව බස්වල යයි. මට කියයි ඇමතිතුමා අපට හොඳ ඒසී බස් ටිකක් දාලා දෙන්න කියලා. තව බස් ටිකකට ලයිසන් දෙන්න කියලත් කියයි. එතකොට මට වෙනවා ඒ සේවය වඩාත් ශක්තිමත් කරන්න. මොකද අපට දේශපාලන නායකයන් විදියට විකල්ප ක්‍රමවේදවලට යන්න වෙනවා.
රුපියල් ශත පසුපස හඹා යන්නේ නැතිව, අනිත් අයට ලැබෙන දෙකයි පනහ ගැන හොයන්නේ නැතිව කටයුතු කිරීමට ඔබගේ මනස සකස් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ නිසා ඉදිරියේදී දුම්රිය සේවයට බඳවා ගැනීමේදී පොඩි මානසික ටෙස්ට් එකතුවක් තියෙන්න වෙනවා. හොඳ මනසක් තියෙන අයද අපේ දුම්රිය සේවයට එන්නේ කියලා අපට සොයා බලන්න වෙනවා. නැතිනම් අපට මේ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ" යැයි පැවසීය.