පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 22 කම ජීවත්වන ලක්ෂ 11කට අධික පිරිසක් ආපදාවට ලක්ව තිබේ.
නාය යෑම්,දියේ ගිලීම් නිසා පුද්ගලයන් 30දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 08 දෙනෙක් අතුරුදන්වී සිටිති.
මේ අනුව දිස්ත්‍රික්ක 22 ක පවුල් 281,767 කට අයත් පුද්ගලයන් 1,016,749 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 31,188 කට අයත් පුද්ගලයන් 106,788 ක් ආරක්ෂිත ස්ථාන 568 ක් තුළ රඳවා සිටිති.
මීට අමතරව නිවාස 19,242 කට හානි සිදුවී තිබෙන අතර, එයින් නිවාස 4,593 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා වැඩිම බලපෑම් එල්ලවී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 138,100 කට අයත් පුද්ගලයන් 493,879 ක් පීඩාවට පත්ව තිබේ.
එම පිරිසෙන් පවුල් 9,085 කට අයත් පුද්ගලයන් 29,800 ක් ආරක්ෂිත ස්ථාන 112 ක රඳවා සිටින අතර, විනාශ වූ මුළු නිවාසවලින් නිවාස 12,509 ක් හානි සිදුව තිබෙන්නේද එම දිස්ත්‍රික්කය තුළය.
මියගිය 24 දෙනාගෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළදී පුද්ගල මරණ 14 ක් සිදුව තිබෙන අතර, අතුරුදන් වීම් 07 ක්ද එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,723 කට අයත් පුද්ගලයන් 10,060 ක් පීඩාවට පත්ව තිබෙන අතර, එයින් පවුල් 2,202 කට අයත් පුද්ගලයන් 8116 ක් ආරක්ෂිත ස්ථාන 67 ක් තුළ රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 6,595 ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 32,436 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 16,906 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 9,722 ක්, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,656 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7,222 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 845 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7,215 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 10,302 ක් පීඩාවට පත්ව සිටිති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 28,095 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 46157 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 288,176 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 21,717 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 20,884 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,384 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 631 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 6,913 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 2,125 ක්, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 379 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 450 ක් පීඩාවට පත්ව සිටිති.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා බලපෑම් එල්ල වී නොමැති දිස්ත්‍රික්ක වන්නේ කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පමණි.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, වායුගෝලයේ පවතින අඩුපීඩන කලාපය පොතුවිල් ප්‍ර‘දේශයට නැගෙහිරින් ස්ථානගතවී උතුරු දෙසට ගමන් කරමින් තිබෙන බවයි.
මේ හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම හා ඌව පළාත්වලට හා සෙසු ප්‍ර‘දේශවලට අද (29දා) දිනයේදීත් වැසි ඇතිවන බවද ඔහු පවසා සිටියේය. මෙහිදී සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත්, වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු අවමකර ගැනීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත්ව සිටින සියලු දෙනාට කඩිනමින් සහන සැලසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.
ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. සහන සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් වහාම සපයන ලෙසද ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් සියලුම දෙනාට සහන සැලසීමට මේ වනවිට රුපියල් මිලියන 1000 ක් වෙන්කර තිබෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයක් වශයෙන් ගත යුතු සෑම පියවරක්ම ගෙන තිබෙන බවත්, විපතට පත් ජනතාවට යම් අසාධාරණයක් සිදුවනවා නම් එය සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි නිසා බවත් ඔහු පවසා සිටියේය.
ඒ පිළිබඳව නිරතුරුවම සොයාබලන බවත්, යම් නිලධාරියෙකු තම වගකීම පැහැරහැර තිබෙන බවට ඔප්පු වුවහොත් රටේ පවතින නීතියට අනුව ඔහුට දඬුවම් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
1956 වසරින් පසු ඇති වී තිබෙන අයහපත්ම කාලගුණ තත්ත්වය මෙය බවත්, මේ නිසා පක්ෂ පාට නොබලා ජනතාවට පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට සියලුදෙනාම කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේදී ඇති වූ නියං තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම ජල මූලාශ්රවල රොන් මඩ ඉවත් කිරීම නිසා සිදුවීමට තිබූ මහා සහයෝගය ලබාදෙන බවත්, අයහපත් කාලගුණ තත්ත්වය ඉවත්ව ගිය පසු වගා හානි ගණනය කර වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බදුල්ල ප්‍ර දේශයේ නාය යෑමෙන් විපතට පත් වූවන් ගේ සුවදුක් බැලීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නියැළුණේය. නාය යෑම හේතුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු නිවාස ආපදාවන්ට ලක් නොවන ප්‍රදේශ හඳුනාගෙන නැවත ඉදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සැම දෙනාම එක්වන ලෙසටය. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා තමා වෙත ලබා දෙන සියලු ආධාර විපතට පත් ජනතාවට ලබා දෙන ලෙස ද කඩිනමින් ජනතාවට සහන සැලසීමට සැමදෙනා එකාවන්ව අත්වැල් බැඳටයුතු කරන ලෙසටද සිරිසේන මහතා ඉල්ලීමක් ද කරයි.