ඓතිහාසික දිඹුලාගල පුදබිම වසර දෙකක් තුළ අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත, දෙස් විදෙස් ගෞරවය දිනාගත් ආකර්ෂණීය පුදබිමක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිත්වය දරමින් වැඩ විසූ අපවත්වී වදාළ පූජ්‍ය කිතලගම සිරි සීලාලංකාර නායක හිමිපාණන් වහන්සේටත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේටත් රජයක් ලෙස සිදුකළ හැකි ඉහළම ගෞරවය එය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අපවත්වී වදාළ සිරිධම්ම රක්ඛිත වංසාලංකාර, අනුවිප්ජික ධුරන්දර අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ සම්මානනායක උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ඊයේ (15දා) ඓතිහාසික දිඹුලාගල පුදබිමේදී එක්වෙමිනි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ පූජ්‍ය කිතලගම සීලාලංකාර නායක ස්වාමීන් වහන්සේත්, පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේත් දිඹුලාගල පුදබිමේ සංවර්ධනය උදෙසා කෙතරම් කැපවී කටයුතු කළද ඒ සඳහා නිසි රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. වත්මන් රජය බලයට පත්ව මාස කිහිපයක්ම ඉක්ම යනවිට පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
විශ්වකර්ම නිර්මාණ ගුණයෙන් යුත් පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පළාතට පමණක් නොව රටටම සිදුවූ බලවත් පාඩුවක් බව ජනාධිපතිවරයා පැවසීය.
දිඹුලාගල වැනි දුෂ්කර කලාපයක වැඩ වෙසෙමින් නියඟයෙන්, ද්‍රරිද්‍රතාවයෙන් පීඩා විඳින අහිංසක ජනතාවගේ දුකසැප තමන්ද අත්විඳිමින් දුෂ්කර ජීවිතයක කටුක අත්දැකීම් වලඳමින් විසූ පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ දිවිපැවැත්ම වත්මන් භික්ෂු පරපුරට මහත් ආදර්ශයක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.