දිනකට බස් කර්මාන්තය තුළ සංසරණය වන රුපියල් මිලියන 200කට අධික මුදලින් රුපියල් මිලියන 10 - 20 ක් අතර මුදලක් බස්රථ සේවකයන් නිසා බස් හිමියන්ට අහිමි වන බවත්, මීට අමතරව මගී ජනතාවට ඉතුරු මුදල් ලබාදීමේදී එම මුදල්වලින්ද බස්රථ සේවකයන් සැලකිය යුතු මුදලක් මංකොල්ල කාගන්නා බවත් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
මේ නිසා දිවයින පුරා ධාවනය වන පෞද්ගලික බස්රථ තුළ භාවිත කළ හැකි පෙරගෙවුම් කාඩ්පතක් දැයට කිරුළ වැඩසටහනට සමගාමීව හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පෞද්ගලික බස්රථ සඳහා පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වාදෙන ලෙස බස්රථ සංගම් සහ මගී සංගම් දිගින් දිගටම ඉල්ලා සිටි නිසා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා වශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුව දැයට කිරුළ වැඩසටහනට සමගාමීව මෙය හඳුන්වාදෙන ලෙසට කැබිනට් මණ්ඩලය උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ අනුව රාජ්‍ය ආයතන දෙකක් වන මොබිටෙල් ආයතනය හා මහජන බැංකුව එක්ව මෙය හඳුන්වාදීමට කටයුතු කරන බවත්, එමෙන්ම මෙය මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් විද්‍යුත් ප්‍ර‘වේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙන බවට ලබාදී තිබෙන පොරොන්දුව ඉෂ්ටවීමක් බවක් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව හඳුන්වාදෙන කාඩ්පත ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනය වන බස්රථ 3500 තුළ සහ පළාත් අධිකාරි යටතේ ධාවනය වන බස්රථ 16,000 තුළ භාවිත කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.