ගෙවී ගිය දින 90ක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසමට මහජනතාව පැමිණිලි 650කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.එහෙත් මහත් ආන්දෝලනයකට ලක්වූ ඇඹිලිපිටිය ප්‍ර‘දේශයේදී පොලීසිය සහ මහජනතාව අතර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී නොමැති බවද පවසා සිටියේය.
එසේ වුවද ජනමාධ්‍ය තුළින් එය ප්‍රචාරය කිරීම නිසා අදාළ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණ අවසන් වූ වහාම ජාතික පොලිස් කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට පැමිණිලිකරුවෙකු අවශ්‍ය වන බවත්, මේ අනුව අදාළ සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාම පහසු වන බවද පවසා සිටියේය.
ජාතික පොලිස් කොමිසම පිහිටුවා තිබෙන්නේ පොලීසිය තුළින් ජනතාවට සිදුවන අසාධාරණය සොයා බැලීම බැවින්, වාහනයක් ධාවනය කිරීමේදී ඉරක් කැපීම නිසා දඩ කොලයක් නිකුත් කළා යැයි පොලීසියට විරුද්ධව පැමිණිලි නොකරන ලෙසත් ජාතික පොලිස් කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලය පිහිටි අංක 09, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, කොළඹ 07 ලිපිනයට පැමිණ පැමිණිලි කළ හැකි අතර, ඊට අමතරව 0710 361010 දුරකථන අංකය ඔස්සේද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද ආරියදාස කුරේ මහතා සඳහන් කළේය. පැමිණිලි ඉදිරිපත් කිරිමේදී තමන් වැරැද්දක් කර තිබියදී පොලීසියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් නොකරන ලෙසත්, එවැනි කටයුතු සිදුකළහොත් නීතිගරුක පොලිස් නිලධාරීන් අධෛර්යයට පත්විය හැකි බවද පවසා සිටියේය.