2015 වසරේ දී ශ්‍රී ලංකාව තුළ සෑම මාසයක දීම ස්ත්‍රීන් 168 ආසන්න පිරිසක් දූෂණයට ලක්ව ඇති බවත් සෑම මාසයකදීම පුද්ගලයන් 263 දෙනෙකුට ආසන්න පිරිසක් සියදිවි නසා ගෙන ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන මගින් හෙළිදරවු වෙයි. ස්ත්‍රී දූෂණ සහ සියදිවි නසා ගැනීම් පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් අත්කරගෙන තිබීම සමස්ත සමාජයේම දැඩි අවධානයට ලක්විය කරුණක් ලෙස දැක්විය හැකිය.
2015 මුල් මාස 11 ක කාලය තුළදී වයස අවුරුදු 16ට අඩු තරුණියන් 1,501 ක් ස්ත්‍රී දූෂණවලට ලක්ව තිබෙන බවත්, මෙම ප්‍රමාණය සමග එම කාලය තුළදී ස්ත්‍රී දූෂණ 1,854 ක් සිදුව තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය වසරේ පළමු මාස 11 තුළ සිදුවූ ස්ත්‍රී දූෂණවලින් දූෂණ 1717 විසඳා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බවත්, 2014 වසර ගතහොත් එම වසර තුළදී ස්ත්‍රී දූෂණ 2008 ක ප්‍රමාණයක් සිදුව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ මුල් මාස 11 ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන 441 ක් සිදුවී තිබෙන බවත්, එම සිද්ධිවලින් සිද්ධි 390 කට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
පසුගිය වසරේ මුල් මාස 09 ක කාලය තුළදී සියදිවි නසා ගැනීම් 2375 ක් සිදුව තිබෙන බවත්, එහෙත් 2014 වසරේදී සියදිවි හානිකර ගැනීම් සිද්ධි 3144 ක් වාර්තා වී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම වසර තුළදී සිදුවූ සියදිවි හානිකර ගැනීම්වලට අනුව පොදුවේ එක් මාසයකදී පුද්ගලයන් 262 ක් සියදිවි හානි කරගෙන තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් පසුගිය වසරේ මුල් මාස 09 තුළ සිදුවූ සියදිවි හානිකර ගැනීම් සලකා බැලුවහොත් එක් මාසයකට පුද්ගලයන් 263 දෙනෙකු සියදිවි හානිකර ගැනීම් සිදුකර ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. පසුගිය වසර තුළදී මාරක රිය අනතුරු 2771 ක් සිදුව තිබෙන අතර, 2014 වසරේදී එම ප්‍රමාණය 2440 ක් බවත්, පොදුවේ 2014 වසරේදී දිනකට පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙන අතර, 2015 වසරේදී එක් දිනකට පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
2014 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 312 ග්‍රෑම් 908 යි මිලිග්‍රෑම් 614 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එහෙත් පසුගිය වසර තුළදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරොයින් කිලෝග්‍රෑම් 46 ග්‍රෑම් 81 යි මිලිග්‍රෑම් 280 ක ප්‍රමාණයක් බවද ඔහු පවසා සිටියේය. වයස අවුරුදු 16 ට අඩු තරුණියන් ස්ත්‍රී දූෂණවලට ලක්වීම් 1209 ක් සිදුව තිබෙන්නේ අදාළ තරුණියගේ කැමැත්ත මත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එහෙත් 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය අනුව වයස අවුරුදු 16 ට අඩු තැනැත්තියක සමග ඇගේ කැමැත්ත මත ලිංගිකව හැසිරුණද එය වරදක් බව ඒ මහතා සඳහන් කළේය.