අනාරක්ෂිත දුම්රිය මාර්ග හරහා ලෝකය පිළිගත් ගේට්ටුවක් රුපියල් ලක්ෂ 20කට දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවි කරමින් තිබියදී එම කටයුත්ත පෞද්ගලික අංශයට පවරා ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ලබා දී තිබෙන ටෙන්ඩරයට අනුව සීනුවක් හා ආලෝක පහනක් සහිත එක් උපාංගයක් සවිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් දෙපාර්තමේන්තු සේවකයන් විසින් අදාළ පහසුකම් සහිත ගේට්ටුවක් සවිකිරීම සඳහා වියදම් කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් පමණක් බවද ඔහු පවසා සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනෙරුවන් ඇතුළු පිරිස් සවිකරන උපාංග අවතක්සේරුවට ලක්කර ලියාපදිංචි නොමැති සමාගමකට ගේට්ටු 200ක උපාංග සවිකිරීම සඳහා ටෙන්ඩර් ලබා දීඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරියෙකුගේ මැදිහත්වීම මත මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන බවත්,මෙලෙස අනාරක්ෂිත ගේට්ටු 200කට මෙම උපාංග සවිකිරීම නිසා දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ හයදහසකට අධික මුදලක් අහිමි වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාරක්ෂිත ගේට්ටු 200ක් සඳහා විදුලි සීනු හා විදුලි ලාම්පු සවි කිරීමේ ටෙන්ඩරය 2014 වසරේදී ද ඉල්ලා තිබූ බවත්, එහෙත් සමාගමේ පැවැති දුර්වලතා හඳුනාගෙන එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා කොන්ත්‍රාත් ලබාදීම අවලංගු කළ බවත් සම ලේකම්වරයා සඳහන් කළේය.