දඹදිව වන්දනා චාරිකාවන්හි යෙදෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂාව හා පහසුකම් තහවුරු කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන ආයතන බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදාඇති අතර, මේ වනවිට ලංකාව පුරා ආයතන 235 ක් ඒ ආකාරයෙන් ලියාපදිංචි වී තිබේ.
චාරිකා සංවිධානයක් තෝරාගැනීමේදී එම ආයතනය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ආයතනයක් බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති නාමලේඛනය මගින් තහවුරු කරගැනීමට වන්දනාකරුවන් කටයුතු කළ යුතු බව අමාත්‍යාංශය කියයි.
එක් එක් ආයතන මගින් අය කරන මුදල් ප්‍රමාණය අනුව විවිධ කාණ්ඩ යටතේ චාරිකා සංවිධානය කරන බැවින් තෝරාගන්නා චාරිකාවට අදාළ අය කිරීම හා ඊට අයත් වන්දනා ස්ථාන සහ ප්‍රවාහන හා නවාතැන් පහසුකම් ආදිය පිළිබඳව පූර්ව දැනුවත් වීමක් හා තහවුරුවක් ලබාගැනීමට වන්දනාකරුවන් කටයුතු කිරීමට වැදගත් බවත් අමාත්‍යාංශය කියයි.
ඉන්දියාවේ දේශගුණික තත්ත්වය අනුව මැයි, ජුනි, ජූලි දෙසැම්බර් හා ජනවාරි මාස දඹදිව වන්දනා චාරිකා සඳහා යෝග්‍ය නොවෙන බවත් චාරිකාවට ප්‍රථමව වෛද්‍ය උපදෙස් හා වෛද්‍ය පරීක්ෂාවක් සඳහා යොමුවීමද සුදුසු බව අමාත්‍යාංශය පවසයි.
වැඩිදුර තොරතුරු 011 230 7674 දුරකතන අංකය මගින් ලබාගත හැකිය.