ඉකුත් (28 දා) රාත්රියේදී දනිඳු යශේන් ලංකානාත් කුමාර රත්නායක දරුවා ඔහුගේ මීගලෑව, කටුගම්පලගම නිවසින් පැහැරගෙන ගොස් ඉකුත් (31) දක්වා අඹන්පොළ, උඩංගාව ප්‍රදේශයේ පොල්වත්තක් මැද නිවසක සඟවාගෙන සිට ඇත.
පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය අසල මීටර් 50ක් පමණ දුරින් පිහිටි පොල්වත්තක් මැද පිහිටි මෙම නිවස රුපියල් 20,000 (විසි දහසක) මුදලකට සැකකරුවන් විසින් කුලී පදනමට ගත් නිවසකි. නිවසෙහි හිමිකරු ගාමිණී රත්නායක යන අයගෙන් මෙම නිවස කුලී පදනමට ගෙන දින 03ක් දරුවා මෙම නිවසෙහි රඳවාගෙන සිට ඇති බව පැවසේ.
ඉන් අනතුරුව මෙම මස 1 වැනි දා ඇඹෝගම, වලන්වැවට නුදුරින් ගල්ගිරියා කඳුවැටිය ආසන්නයේ උල්පත වත්තට හා ආරණ්‍ය සේනාසනයට ඉහළ කඳුබෑවුමේ පිහිටි ගල්ලෙනක දරුවා රඳවාගෙන සිට ඇත.
ඔහු පළමු වැනිදා රාත්‍රී 9.35 ට පමණ නිදහස් කර ඇත්තේ ඇඹෝගම, වලන්වැව නිවසක් අසලදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගුරුගොඩ අනරගල්ල පදිංචි පින්තාරුකරුවකු වූ සංජීව විජේකෝන් (21) අත්අඩංගුවට ගෙන ඔහු මාර්ගයෙන් අනෙක් සැකකරුවන් සූක්ෂම ලෙස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කොටු කරගෙන ඇත.
ඒ අනුව දරුවා ඇඹෝගම වලන් වැව නිවසක් ආසන්නයට ගෙනැවිත් දමා ඇතැයි පැවැසේ.
අපරාධකරුවන් භාවිත කළ දුරකථන ඇමතුම් ඔස්සේ ප්‍රදේශ නිර්ණය කර අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්ගමුව, ඇඹෝගම, වලන්වැව 18 කණුව අසල චන්දන අජිත් කුමාර (33) මහතාගේ නිවසට දනිඳු යශේන් දරුවා තම පියා එම නිවසේ රැඳී සිටිනවා යැයි පවසමින් යතුරුපැදියකින් ආ දරුවා පැහැරගත් සැකකරුවන් දෙදෙනෙකු දරුවා නිදහස් කර ඇත්තේ ඉකුත් පළමුවැනිදා රාත්‍රී 9.35 ට පමණය. නිවසෙහි හිමිකරු චන්දන අජිත් කුමාර මෙසේ පැවසීය.
"වෙලාව 9.35ට විතර ඇති. මෝටර් සයිකලයක් ඇවිල්ලා ස්ලෝ එකේ තියලා නැවැත්තුවා. මම හිතුවේ මගේ යාලුවෙක් කියලා. ඒත් එක්කම විනාඩියක් විතර යනකොට දොර ඇරගෙන චූටි බබෙක් අප්පච්චී කියලා මාව බදා ගත්තා.
ඊට පස්සේ අම්මයි මගේ නෝනයි කෑගහලා මේ අර ළමයා නේද කියලා කෑගහලා නෝන අතට බබා දුන්නා. අපි ඔක්කෝම බය වෙලා හිටියේ. නිකං ඇඟට මොකක්දෝ වුණා වගේ. මම මගේ ෆෝන් එකෙන් 119 ගැහැව්වා. 119 වැඩකළේ නෑ. දෙපාරක් විතර ගැහැව්වා.
මගේ ෆෝන් එකේ හොඳ වෙලාවට ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිතුමාගේ නම්බර් එක තිබුණා. මම ඕ. අයි. සී. මහත්තයාට කතා කළා. ළමයා ඉන්නවා අපේ ගෙදර ඉක්මනින් එන්න කිවුවා. ඕ. අයි. සී. මහත්තයා කීවා විනාඩි 10 කින් මම එනවා එනකම් ඉන්න කාටවත් කියන්න එපා. කෑම බීම ඉල්ලනනවානම් ඒවා දරුවාට දෙන්න කිවුවා.
බබාගෙන් මම ඇහැව්වා නිදා ගත්තේ කොහෙද? හිටියෙ කොහෙද? කිව්වට පස්සේ බබා කිව්වා නිදාගත්තේ ගල් ගුහාවක කිව්වා. ඉස්සලා වත්තක හිටියා කිව්වා. වත්තේ පොල් නෑ ගස් විතරක් තියන වත්තක් මැද ගෙදරක හිටියා කිව්වා. ගල් ගුහාවේ නිදාගන්න මොනවද දුන්නේ කියලා ඇහැව්වාම රබර් ෂීට් එකක් එළලා නිදාගන්න කියලා කිව්වා.
කන්න දුන්නා කීවේ බතුයි බිත්තරයි. චොක්ලට් එකක් දුන්නා කිව්වා. ගල් ගුහාවේ මාමා කෙනෙක් ටෝච් එකක් තියාගෙන හිටියා කිව්වා. ඊට පස්සේ බබා බයවෙලා වගේ තැතිගැන්මෙන් හිටියේ. අපේ නෝනාගේ අතේ බබාව තුරුල්කරන් විනාඩි 5 ක් විතර හිටියා. ඊට පස්සේ එයාගේ බය අඩු වුණා. මම අතට අරගෙන කිරි ටිකක් දුන්නා. ඊට පස්සේ පොලීසියේ මහත්තුරු දෙන්නෙක් ආවා. එතකොට දරවා කීවා ඇයි මේ ගෙදරට ආවේ මොකද කියලා ඇහැව්වහම
අප්පච්චී මේ ගෙදර තමා ඉන්නේ ගිහිං බලන්න කිව්වහමලු දුවලා ඇවිත් තියෙන්නේ. ළමයා අප්පච්චී කියාගෙන තමා ආවේ. හරිම කටකාර දරුවා. අපේ පුතාගේ පොත් මේසේ උඩ තිබ්බ ඒවා එයා පෙරළලා බැලුවා. දරුවා ඊට පස්සේ කිඹුලා ගැන කතන්දරයක් කිව්වා. අපි රෑ ප්රවෘත්ති බැලුවා ඒ බලනකොටත් කිව්වේ අනේ දරුවාට කරදරයක් වෙන්න එපා ඉක්මනටම ලැබෙන්න ඕනෑ කියලා කිව්වා".
ගල්ගමුව සංජීව රත්නායක