මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ ඝාතන පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගති වාර්තාවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් ඉවත් කරන ලෙස අන්තර්පාර්ලිමේන්තු සංගමයේ මෙවර සැසි වාරයේදී ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියේය.
නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසුවේ අද (03දා) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ පැවති හමුවකදීය
ද.මු. දසනායක, ජෝශප් පරරාජසිංහම්, ටී. මහේෂ්වරන් සහ එන්. රවිරාජ් යන හිටපු මන්ත්‍රීවරුන් ඝාතන සිද්ධි පිළිබඳව වාර්තාවක් 133 වැනි අන්තර්පාර්ලිමේන්තු සංගමයේ සැසි වාරයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවට දැනුම්දී තිබුණි. ඒ අනුව ඔක්තෝබර් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ජිනීවාහි පැවති අන්තර්පාර්ලිමේන්තු සංගම් සැසියේදී ටී. මහේෂ්වරන් සහ ද.මු. දසනායක යන මන්ත්‍රීවරුන්ගේ නම් එම වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම් කර තිබේ.
මෙම මන්ත්‍රීවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් අගතියට පත් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ලබාගත් වාර්තාවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබාගැනීමෙන් අනතුරුව යළි අන්තර්පාර්ලිමේන්තු සංගමයෙන් තමා මෙම ඉල්ලීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
මෙම මන්ත්‍රීවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, ඉතිරිව ඇත්තේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් තමන් එහිදී පෙන්වා දුන් බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.