එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයවීමෙන් පසු එය යළි ගොඩ නැගීමට උත්සහ කළ බව පැවසෙන සුන්දරලිංගම් කජිපන් හෙවත් තේවියන් නැමැත්තාගේ මව වන සුන්දරලිංගම් රංජිතා මාලා යන අය කැනඩාව බලායාමට අද (21දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රාජ්‍ය බුද්ධි සේවයේ බාරයට ගනු ලැබීය.
ඇය යාපනයේ චාවාකච්චේරියේ සිට අද (21දා) අලුයම එකට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇති බවත් අලුයම 4.35 ට ගුවන්ගතවීමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 663 දරන ගුවන් යානයෙන් දෝහා හරහා කැනඩාව බලා යාමට ඇය පැමිණ ඇති බවත් අනාවරණය වෙයි.
එම අවස්ථාවේ ආගමන විගමන අංශයෙන් ඇය අසාදු ලේඛන ගතවී ඇති බැව් වාර්තා වීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් ඇය ඔවුන්ගේ බාරයට ගෙන ඇත. පසුව ඇගේ පසුබිම් වාර්තාවල අඩුවක් පවතින බැවින් ඒවා රැගෙන එන ලෙස දන්වා ඇය ආපසු හරවා යවා ඇති බව අනාවරණය වෙයි