ශ්‍රී ලංකා නැව් සංස්ථාවට තෙල් ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් මිලදීගැනීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක් (රුපියල් මිලියන 9,240) ක් පමණ වටිනා මෙම නැව් දෙක නිර්මාණය කර නිෂ්පාදනය කිරීමට චීනයේ ඇවික් ඉන්ටර්නැෂනල් බීජිං සමාගමට පිරිනමා ඇත.
ඇවික් ඉන්ටර්නැෂනල් බීජිං සමාගම කැඳවීමකින් තොරව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට එවා තිබූ යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නැව් අදාළ සමාගමෙන් තනවාගැනීමට රජය තීරණය කර තිබේ. අදාළ නෞකා නිෂ්පාදන යෝජනාව සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ස්ථාවර සමාලෝචන කමිටුවක් පත්කිරීමෙන් පසුව එහි නිර්දේශද සලකා බලා නැව් දෙක මිලට ගැනීමට තීරණය කර ඇත.
තෙල් ප්‍රවාහන නෞකාව හා භාණ්ඩ ප්‍රවාහන නෞකාව ලංකා නැව් සංස්ථාවේ පිරිවිතරයන්ට හා අවශ්‍යතාවන්ට යෙදවිය යුතු බවටත්, තෙල් ප්‍රවාහන නෞකාව කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා තෙල් පොම්ප කිරීමට අවශ්‍ය විශේෂිත උපකරණවලින් සමන්විත විය යුතු බවටත් සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
සූවස්මැක්ස් (Suezmax) තෙල් ප්‍රවාහන නෞකාව මෙට්‍රික් ටොන් 157,000 ක ධාරිතාවකින් යුක්ත වන අතර, දිග මීටර් 27 ක් වේ. පළල මීටර් 48 කි. පැනමැක්ස් බඩු ප්‍රවාහන නෞකාව පුහුණුවීම් කටයුතු සඳහා එක් අතිරේක නැව් තට්ටුවක් සහිත ටොන් 63,600 ක ධාරිතාවකින් යුක්ත වෙයි.