තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධීන්වහන්සේ දෝවනය කිරීම සිදුනොකරන බවත්, ගිහිපැවිදි කණ්ඩායමක් ගෙනයන ප්රචාරක වැඩපිළිවෙළ නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසුදුවීම සඳහා දියනා ගැනීමට ස්ථානයක් නොමැතිවී ඇතිබවත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවසූහ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේබව පැවසූහ.බැතිමතුන්ට අවහිර ඇතිවන නීති ඉවත්කිරීමට පොලීසිය පියවර ගතයුතු බව උන්වහන්සේ අවධාරණය කළ අතර, තිසාවැවේ දියනාන පිරිස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පියවර ගතයුතු බවට උන්වහන්සේ මෙහිදී පොලිස්පතිවරයාට අවධාරණය කළහ.
එහිදි වැඩිදුරටත් අනුශාසනාවක්කළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්,
“පිටස්තරින් පැමිණි ස්වාමීන්වහන්සේලා පිරිසක් ගිහි පිරිසක් සමග එක්වෙලා තමයි මේ දේවල් කරන්නේ.මේ පුරාණ වැව් රජදරුවන් ඉදිකළේ බැතිමතුන්ගේ අවශ්‍යතාවන්ට.රජකාලේ රජ දරුවන්ගේ සිට මේ දේවල් ආරක්ෂා කළේ අපි.පැරණි ඇත්තෝඒවා දන්නවා.දැන් පිටින් ආපු කට්ටිය මේවට නීති දාන්න පටන් අරගෙන.පසුගිය දිනක තිසාවැවේ දියනෑ අයෙකු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබ්බා.
සිරිපාදේ යන උදවිය නල්ලතන්නියේ සීත ගඟුලෙන් දිය නානවා.කතරගමට යන උදවිය මැණික් ගඟෙන් දිය නානවා.අනුරාධපුර අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ට මේ වන විට දිය නාගෙන පිරිසුදු වෙන්න තැනක් නෑ.බැතිමතුන් දියනාගෙන පිරිසුදුවෙලයි මේ සිද්ධස්ථාන වැදපුදා ගන්න එන්න ඕන.
ජයශ්‍රී මහබෝධීන්වහන්සේ දෝවනය කිරීමට තිසාවැවේ පැන් භාවිතයට ගන්නවා, ඒ නිසා ජලය අපවිත්‍ර වෙනවා කියලා විවිධ බොරු ප්‍රචාර යවලා නැති ගැටලු ඇති කරනවා.ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ දෝවනය සඳහා තිසාවැවේ ජලය භාවිත කරන්නෙ නෑ.ජනතාවට අවහිරයක් නොවන ආකාරයෙන් කටයුතු සිදුකරන්න කියලා පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන්න කියා මා ඉල්ලා සිටිනවා”