රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බව පවසමින් ව්‍යාජ, කූඨ ගිවිසුමක් ඉදිරිපත් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජනාධිපති මැතිවරණ පනත යටතේ තිස්ස අත්තනායක මහතා වරදක් කර ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙම වරද සිදුකළ තැනැත්තාට දඬුවම් ලබාදීමට හැකි බවත්, මෙම වරද නිසාම මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේදී ජනාධිපති ධුරයට පත්වුවහොත් එම පත්වීම ශුන්‍ය කිරීමට අධිකරණයට බලය ඇති බවත් සරත් එන්. සිල්වා මහතා පැවසුවේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ පිළිබඳව පැහැදිලි කළ සරත් එන්. සිල්වා මහතා,
“මැතිවරණ නීතියේ 83 වැනි වගන්තිය යටතේ තිබෙනවා යම් අපේක්ෂකයකු හෝ අපේක්ෂකයෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳ අසත්‍ය තොරතුරු යම් පුවත්පතක සඳහන් කරනවා නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් බව. රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගිවිසුම අසත්‍ය එකක් බව ප්‍රකාශ කර තිබෙනවා. මෙය පළකිරීමට පෙර මෛත්‍රීපාල මහත්මයාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් විමසීමේ යුතුකමක් පුවත්වත්වලට තිබුණා.
එසේ නොවන ලෙස ක්‍රියාකිරීම තුළ ජනාධිපති මැතිවරණ පනතේ 83 වැනි වගන්තිය යටතේ මැතිවරණ නීති විරෝධී ක්‍රියාවක් වෙනවා.
මේ නිසාම මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්වුවත් මෙම ක්‍රියාව නිසාම ඔහුගේ පත්වීම අවලංගු කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා" යනුවෙන් කියා සිටියේය.
“ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේ 452 වගන්තිය යටතේ මෙය කූඨ ලේඛනයක්. මෙම කූඨ ලේඛනය නිවැරදි ලේඛනයක් ලෙස භාවිත කරන තැනැත්තා 459 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා.
ඒ අනුව තිස්ස අත්තනායක මහතා මෙය ඉදිරිපත් කිරීම තුළ පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 459 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා. එය ප්‍රසිද්ධ කළ පුවත්පත් 83 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා.
ඒ නිසා මහින්ද රජපක්ෂ මහතා නැවත පත්වුණහොත් මේ කරුණ මත එම පත්වීම ශුන්‍ය බව ප්‍රකාශයට පත්කිරීමට අධිකරණයට බලයක් තිබෙනවා. ඒ නිසා මෙය පැහැදිලිවම මැතිවරණ වරදක්. එයට දඬුවම් ලබාදීමට පුළුවන්* යනුවෙන්ද මෙහිදී සිල්වා මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකිද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු මත විමසීම පිළිබඳවද හෙතෙම කරුණු දැක්වීය.
“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු මත විමසුම ප්‍රසිද්ධ කරන ලෙස මම මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. ඒ මතයේ තිබෙන්නෙ විහිළු කතා. එහි තිබෙන්නේ දෙවරක් ජනතාව විසින් පත්කළ තැනැත්තෙකුට තුන් වතාවක් අහිමි කරන්නේ ඇයි කියලයි. මෙය දේශපාලන තර්කයක් මිසක් නීති තර්කයක් නොවේ. ඒකයි මේ මතය අද දක්වා ප්‍රසිද්ධියට පත් නොවෙන්නෙ. මෙය සාවද්‍ය කරුණු මත පදනම් වූවක් බව මම වගන්තියක් වගන්තියක් පාසා පැහැදිලි කරන්නම්" යනුවෙන්ද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.