ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කරමින් උතුරේ විනාශකාරී ක්‍රියාවලට ආධාර කිරීමේ සැකය මත තිදෙනෙකු අත්අඩංගුවට සහ රැඳවුම් භාරයේ තැබීමට හේතුවූ විමර්ශන ගැන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු පැහැදිලි කර තිබේ.
බාලේන්ද්‍රන් ජයකුමාරි අත්අඩංගුවට ගැනීමත්, රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පූජකවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශවලට පිළිතුරු දීමේ අයිතිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම්වලට පෙර ඇතිවූ සිදුවීම් මාලාව රජය විසින් මානව හිමිකම් කවුන්සිලයේදී විස්තර කර තිබේ.
ඊයේ උදෑසන කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රවීන් මහේසන් පූජකවරයා සහ රුකී ප්‍රනාන්දු මේ වනවිට නිදහස් කරනු ලැබ සිටිති.
බාලේන්ද්‍රන් ජයකුමාරි අත්අඩංගුවට ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ නැවත එල්.ටී.ටීඊ ය පණගැන්වීමට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් සැකකරන කේ.පී. සෙල්වනායගම් හෙවත් ගෝබි නැමැත්තාට ආධාර හා අනුබල දීමේ සැකය මතය. ප්‍රවීන් මහේසන් පූජකවරයා සහ රුකී ප්‍රනාන්දු රඳවා ගනු ලැබ සිටියේ ඔවුන් ගෝබි හා සම්බන්ධ පුද්ගලයන් සමග කිලිනොච්චියේදී කටයුතු කරමින් සිටි බවට හෙළිවූ නිසාය. ගෝබි සහ වෙනත් අදාළ පුද්ගලයන් සැඟවී සිටින ස්ථාන තහවුරුකර ගැනීමට මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවිය. ඊයේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් ගෝබි නැමැත්තා එම පළාතේ එල්.ටී.ටී.ඊ.ය යළි පණගැන්වීම පිණිස රැකියා විරහිත තරුණ ප්‍රජාව යොදාගැනීමේ යෙදී ඇති බවද සඳහන් විය.
එමෙන්ම, ඔහු යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් උතුරේ සඟවන ලද අවි යළි සොයාගැනීමේ නිරතව සිටී. සැඟවී සිටින ගෝබි අල්ලා ගැනීමට පොලිස් සහ හමුදා කණ්ඩායම් යොදවා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය මෝටාර් සහ ආර්.පී.ජී. වර්ගයේ ජීව උණ්ඩ අත්බෝම්බ තුනක් සහ කිලෝ 2.5ක ක්ලේමෝ බෝම්බයක් සමග ටී 56 පතොරම් සොයා ගෙන ඇත. මේවා සොයා ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බාලේන්ද්‍රන් ජයකුමාරි මහත්මියගේ කිලිනොච්චි නිවසට ගොස් ඇති අතර පිරික්සුම් මෙහෙයුමේදී ගෝබි එල්ල කළ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයෙකුට තුවාල සිදුවිය.
ගෝබිට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත ජයකුමාරි අත්අඩංගුවට ගනු ලැබුවාය. ඇය සුදුසු ඥාතියකු හෝ භාරකරුවකු සැපයීමට අපොහොසත්වීම නිසා ඇගේ 13 හැවිරිදි දියණිය මවත් සමග කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන ලදුව එම දැරිය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේදී එම රැඳවියන් හමුවීමට ඉඩදී ඇත. උතුරු පළාත් සභාවේ සභික ආනන්දි ශෂීධරන් මහත්මිය මෙම දරුවා විරෝධතාවට සහභාගිවීම නිසා අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ පවසා ඇත. ශෂිධරන් මහත්මිය ඇයගේ කථාවේදී දෙමළ ඊළාම ගැනද සඳහන් කොට ඇති අතර පළාත් සභා සභිකයකු වශයෙන් ඇය පිළිපැදීමට ප්‍රතිඥාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවද පෙන්වා දුනි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් ක්‍රියා කොට ඇත්තේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් රටේ පවතින නෛතික රාමුව මත බවද ජිනීවා සමුළුවේදී පැහැදිලි කරන ලදී.
මේ නිසා ජාතික ආරක්ෂාවට ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතුරු කොටස්වල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සලකන විට මෙම සිදුවීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ කටයුතු පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බව යැයිද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.