කෘර ලෙස වධහිංසාවට භාජනය කර මරණයට පත්කළැයි පවසන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මිහිදන් කර ඇති සිරුර ගොඩගැනීම සඳහා රහස් පොලීසිය මේ වනවිට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව තාජුදීන්ගේ සිරුර ගොඩගැනීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබාදීම සිදුකළ පසු අධිකරණ නියෝගයක් අනුව එය ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
දෙහිවල ප්‍රදේශයේ ඔහුගේ සිරුර තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව ඊයේ (03දා) මාධ්‍ය වාර්තා කර තිබුණි.
රගර් ක්‍රීඩකයා මියයාමට පෙර ඔහුගේ දත්, කලවා ප්‍රදේශයේ ඇට කටු කඩා තියුණු ආයුධයකින් ගෙල සිදුරුකොට පාදයේ මාංග පේශී වීදුරු කටුවකින් ඇණ තුවාලකොට දරුණු ලෙස වධ බන්ධනයට ලක්කොට ඇති බවට පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව රහස් පොලීසිය අධිකරණයට වාර්තාකොට තිබුණි.
ඔහුගේ පිළිස්සුණු මළසිරුර සමග ඔහු ගමන් කළ මෝටර් රථය නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ තාප්පයක ගැටී තිබී 2012 වසරේ මැයි මස 17 වැනිදා සොයාගනු ලැබිණි.