ඇපල් සමාගමේ පේටන්ට් අයිතීන් දෙකක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් වෙත ඇ.ඩො.මිලියන 119.6ක (රු.මිලියන 15,600ක) වන්දි මුදලක් ගෙවිය යුතු බවට ඇමෙරිකානු අධිකරණයක් විසින් සැම්සුන් සමාගමට නියෝග නිකුත් කර තිබේ.
සෙන් ජෝස් ෆෙඩරල් අධිකරණයේ ජූරි සභාව විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙය ප්රමුඛ පෙළේ තාක්ෂණ සමාගමක් දෙකක් අතර ඇති වූ නවතම බුද්ධිමය දේපොළ ගැටුම බව බී.බී.සී.ය පවසයි.
මාස කිහිපයක් පුරා පැවති නඩු විභාගයේදී ඇපල් සමාගමේ ස්මාර්ට් ජංගම දුරකථනවල ඇතුළත් කර ඇති විශේෂාංග සැම්සුන් සමාගම විසින් උකහා ගැනීම තුළ ඇපල් පේටන්ට් අයිතීන් සැම්සුන් උල්ලංඝනය කර ඇති බව කියවුණි.
මෙහිදී අධිකරණය වැඩිදුරටත් පවසා තිබුනේ ඇපල් සමාගම විසින් උල්ලංඝනය කර ඇති සැම්සුන් සමාගමේ පේටන්ට් අයිතීන් වෙනුවෙන් ඔවුන්ද ඇ.ඩො.158,000ක වන්දි මුදලක් ඇපල් සමාගම වෙත ගෙවිය යුතු බවයි.
'slide to unlock' පහසුකම ඇතුළුව තම ජංගම දුරකථනවල පේටන්ට් අයිතීන් 5ක් සැම්සුන් සමාගම විසින් උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇ.ඩො.බිලියන 2.2ක වන්දියක් ඇපල් සමාගම මෙම නඩුවේදී ඉල්ලා තිබුණි.
මෙහිදී, තමන් කිසිදු වරදක් නොකළ බව පවසමින් සැම්සුන් සමාගම ඇපල් සමාගමෙන් ඇ.ඩො.මිලියන 6ක වන්දි මුදලක් ඉල්ලා තිබුනේ, සිය ජංගම දුරකථනවල වූ කැමරා භාවිතය හා වීඩියෝ සම්ප්‍රේෂණ ආදී විශේෂාංගවල පේටන්ට් අයිතීන් ඇපල් සමාගම විසින් උල්ලංඝනය කර ඇති බව පවසමිනි.
ඇපල් හා සැම්සුන් සමාගම් වසර කිහිපයක සිට මේ ආකාරයෙන් තම පේටන්ට් අයිතීන් වෙනුවෙන් විවිධ රටවලදී උරෙන්උර ගැටෙන අවස්ථා දැකිය හැකිය.
මීට වසර දෙකකට පෙර ඇපල් සමාගමේ තාක්ෂණයක් සැම්සුන් සමාගම විසින් භාවිතකළ බව ඔප්පු වීමත් සමග ඔවුන්ට ඇ.ඩො.මිලියන 930ක වන්දි මුදලක් ඇපල් සමාගම වෙත ගෙවීමට සිදුවිය.