මුම්බායි පොලීසිය දැනුම්වත් නොකරමින් නගරයේ පීසා අවන්හලක් විසින් ඩ්‍රෝන යානා (නියමුවන් රහිත කුඩා යානා) යොදාගෙන තම පීසා නිෂ්පාදන ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කිරීම ඇරඹීම ගැන පරීක්ෂණ අරඹා ඇති බව කියැවෙයි.
Francesco's Pizzeria පීසා අවන්හල් ජාලය පවසා ඇත්තේ දුරස්ථ පාලක මගින් ක්‍රියා කරන රොටර් හතරකින් ඉහළට එසවෙන කුඩා ඩ්‍රෝන යානා යොදා ගනිමින් මේ වනවිට ඔවුන් සාර්ථකව සිය නිෂ්පාදන බෙදා හරින බවයි.
විශේෂයෙන් තම අවන්හලෙන් කිලෝ මීටර් 1.5ක් පමණ දුරින් පිහිටි මහල් නිවාසවල වෙසෙන අය වෙත පීසා ප්‍රවාහනය කිරීමට මෙය වඩාත් යෝග්‍ය ක්‍රමයක් වී ඇති බවද ඔවුන් පවසා ඇතැයි ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි.
දැඩි වාහන තදබදයන් පිළිබඳ නම ගිය නගරයක් ලෙස මුම්බායි සැලකෙද්දී මෙම ක්‍රමය මගින් පීසා ප්‍රවාහනය කිරීම හරිත සංකල්පයට යෑමක් බවද එම සමාගම කියයි.
එමගින් පරිසර දූෂණය අවම වන අතර, කාලයද බොහෝ සෙයින් ඉතිරි වන බව ඔවුන් පවසයි.
කෙසේ වෙතත් මුම්බායි පොලීසිය පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් ඩ්‍රෝන යානා යොදාගැනීම පිළිබඳව අදාළ සමාගම එරට සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගෙන ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවයි.
සාමාන්‍යයෙන් ඕනෑම පියාසර වස්තුවක් යානයක් අහසේ ගමන්කරවීම සඳහා අවසරයක් තිබිය යුතු බව ගුවන් ගමන් පාලන කාර්යාලය නිවේදනය කරයි.
මේ ආකාරයෙන් දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක යානා සම්බන්ධයෙන් තමන් වඩාත් අවධානයෙන් සිටි බව පවසන මුම්බායි පොලීසිය මෙය නගරයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද පෙන්වා දෙයි.
මන්දයත්, මීට පෙරදීත් ත්‍රස්ත ප්‍රහාරවලට ලක්ව ඇති මුම්බායි නගරය මෙවැනි ඩ්‍රෝන යානා හෝ පැරා ග්ලයිඩර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කලින්ම අනතුරු ඇඟවීම් ලැබී ඇති නිසාය.
කෙසේ වෙතත් පීසා ප්‍රවාහනය කරන මෙම ඩ්‍රෝන යානයට මීටර් 130කට (අඩි 400ක්) වඩා ඉහළ ගමන් කළ නොහැකි බවත්, ඒ නිසා එය සාමාන්‍ය ගුවන් යානා පාලන සංඥා සමග සම්බන්ධ නොවන බවත්, කිසිම අයෙකුට කිසිම ආකාරයකින් මෙම යානයේ පාලනය ලබාගත නොහැකි බවත් අදාළ සමාගම පවසා තිබේ.
මීට පෙර ලෝ ප්‍රකට ඇමසෝන් සමාගම මෙවැනි නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගනිමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ අත්හදා බැලීම් සිදුකළත්, එය යථාර්ථයක් ලෙස ක්‍රියාත්මක කිරීමට තවත් වසර පහක පමණ කාලයක් වැයවනු ඇති බව පවසා සිටියේය.