ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මනින් අවස්ථාවක් ලබාදෙන්නැයි දෙමළ ජාතික සන්ධානය තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මහ ඇමතිවරිය වෙත ලිපියක් නිකුත් කරමින් එහි නායක ආර්. සම්බන්ධන් මහතා මෙකී ඉල්ලීම කර ඇත.
එහි පිටපතක් මේ වනවිට මාධ්‍ය වෙතද නිකුත් කොට ඇතැයි වාර්තා වේ.
මෙම ලිපියට අනුව ඉන්දියාවේ පැවැති මහ මැතිවරණයෙන් ඉන්දීය ලෝක් සභාවේ ආසන 37 ක් දිනා, එහි තෙවැනි විශාලතම පක්ෂය බවට ජයලලිතාගේ පක්ෂය පත්ව ඇත.
එයට වඩා ඉදිරියෙන් ඇත්තේ පාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය හා ඉන්දීය කොංග්රස් පක්ෂය වේ.
මෙකී සාර්ථකත්වය පිළිබඳව සම්බන්ධන් මහතා සිය ලිපියෙන් ඇයට සුබ පැතුම්ද එකතුකර ඇතැයි වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය මීට ඉහත අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමටද අවස්ථාවක් ඉල්ලා තිබිණි.