"ඉරිච්ච දිරච්ච සපත්තු දෙකක් දාගෙන චීන ජනපති, අගමැති බලන්න යන ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඉන්න මැතිරණ කොට්ඨාශයක් යාපහුව. මෙහෙ ඇමතිතුමා කියලා තිබුණා එතුමාගේ කබල් සපත්තු ජෝඩුව රුපියල් කෝටි පහකට ගන්න ඉල්ලලා තියෙනවා කියලා. මම එතුමාට අභියෝග කරනවා ඒ සපත්තු දෙක පුළුවන් නම් රුපියල් කෝටි පහකට විකුණලා පෙන්වන්න කියලා "යැයි ඌව පළාත් විපක්ෂ නායක හරින් ප්රනාන්දු මහතා පැවසීය.
යාපහුව නව සංවිධායක කීර්ති ෆොන්සේකා මහතාගේ දළදාගමදී පිහිටි නව පක්ෂ කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවති ජනහමුවේදී විපක්ෂ නායකවරයා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඔය ටී.බී. ඇමතිතුමාගේ සපත්තු දෙක කොම්පඤ්ඤවීදියේ සපත්තු මහන කෙනෙක්වත් ගන්නෙ නෑ. මේවා ගම්වල ඉන්න ජනතාව රවට්ටන්න කියන කතායි. ඔය ඔක්කොම බොරු චූන් කතා. සපත්තු දෙකක්වත් නැති ඇමතිවරු ඉන්න ආසනයක් මේක. කීර්ති ෆොන්සේකා නව සංවිධායකතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා සපත්තු දෙකක් අරගෙන ඔය සපත්තු දෙකක් නැති ඇමතිට තෑගි කරන්න කියලා."
අඹන්පොළ - අවිශ්ක නිමිසර