රටේ නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය නිසා පසුගිය වසරේදී රටට රුපියල් බිලියන 397 ක් අහිමි වී තිබෙන බවත්, වාහන තදබදය නිසා නගරයක් තුළ වාහනයක සාමාන්‍ය ධාවන කාලය පැයට කිලෝමීටර් 20 සිට 12 දක්වා අඩු වී තිබෙන බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මහා නගර සහ බස්නාහිර පළාත් සුවිසල් නගර සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘතිය පිළිබඳව ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ඊයේ (30දා) පැවැත්වූ සම්මන්ත්‍රණයේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමස්ත පළාත්වල නගර දියුණු කිරීම සඳහා ලබන වසරේදී සංවර්ධන පනතක් ගෙන ඒමට කටයුතු කරන බවයි.
ලංකාවේ ප්‍රධාන නගරය කොළඹ වුවද ඒ තුළ පැල්පත්වාසීන් 68,000 ක් ජීවත්වන බවත්, මීට අමතරව යාචකයන් 500කට අධික ප්‍රමාණයක් සහ සුනඛයන් 16,000 ක් සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
රට තුළ පිහිටි නගර ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙන බවත්, කොළඹ ආශ්‍රිතව ගතහොත් කොළඹ නගරයට වඩා මේ වනවිට හෝමාගම, කඩුවෙල ප්‍රදේශ ආශ්‍රිතව නාගරීකරණය සිදුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
පොදුවේ ගත්කල මීට දශක තුකකට පෙර කොළඹ නරගය දිනකට වාහන ඇතුළු වූයේ වාහන 132,000 ක් පමණක් වුවද, අද වනවිට එය ලක්ෂ 05 දක්වා වර්ධනය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව රට නාගරීකරණයට ලක්වීමට සමගාමීව ලබන වසර තුළදී නව ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙන බවත්, එම හැඳුනුම්පත ක්‍රෙඩිට් කාඩ්පතක් ලෙස, විදේශ ගමන් බලපත්‍රය ලෙස හා බස් රථයක ගමන් කරන විට ගෙවීම් සිදුකිරීමට වැනි තාක්ෂණිකාංගයන්ගෙන් සමන්විත බවත් රණවක මහතා සඳහන් කළේය.