මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 7කින් ඇමෙරිකාව වෙත සිදුකෙරෙන සංක්‍රමණ වළක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගය රට පුරා තාවකාලිකව අත්හිටුවමින් එරට ෆෙඩරල් අධිකරණ විනිසුරුවෙකු නියෝගයක් ලබාදී තිබේ.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කර ඇති විධායක නියෝගයට අභියෝග කිරීමට එරට ප්‍රාන්තයන්ට නොහැකි බවට රජයේ නීතීඥයන් ගෙනහැර දැක්වූ අදහසට එරෙහිව ෆෙඩරල් අධිකරණ විනිසුරු ජේම්ස් රොබට් විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඊට අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙහිදී, ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසා සිටින්නේ ජනපති ට්‍රම්ප් විසින් ලබාදුන් නියෝගය නීත්‍යනුකූල හා වඩා යෝග්‍ය නියෝගයක් බවයි.
"ජනාධිපතිවරයාගේ නියෝගය රටේ අභ්‍යන්තර ආරක්ෂාව සහතික කරන නියෝගයක්. ඒ වගේම, එවැනි නියෝගක් ලබාදීම සඳහා ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් මෙන්ම, ඇමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමක්ද පැවරී තිබෙනවා" යැයි ධවල මන්දිර ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් වෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කළ විධායක නියෝගයට අනුව ඇමෙරිකානු සරණාගත ප්‍රවේශ වැඩසටහන දින 120ක් අත්හිටුවා තිබේ.
මේ අතර, සිරියාවෙන් පැමිණෙන සරණාගතයන්ට අසීමාන්තික තහනමක්ද මෙම නියෝගයෙන් පනවා ඇති අතර, ඉරාකය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය හෝ යේමනය යන රටවලින් පැමිණෙන ඕනෑම සංක්‍රමණිකයෙකුට වීසා නිකුත් කිරීම දින 90ක කාලයක් අත්හිටුවා තිබේ.