ජී.එස්.පී. සහනය ලැබීමෙන් පසු මත්ස්‍ය අපනයනයේදී ශ්‍රී ලංකාවට 15%ක බදු සහනයක් ලබාගත හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් සමග එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.
ජී.එස්.පී. සහනය ලැබීමෙන් පසු ඒ හරහා රටට විශාල ආදායමක් උපයාගැනීමට මෙන්ම අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටද හැකියාව ලැබෙන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් 'අද' වෙත අදහස් දක්වා සිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
“පසුගිය වර්ෂ තුනකට ආසන්න කාලයක් ජී.එස්.පී. සහනය නොලැබීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමේ විශාල පසුබෑමක් දක්නට ලැබුණා. අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා රටේ ජාතික ආදායමෙන් රටේ සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් පවා අඩු කිරීමට රජයට සිදුවුණා. නමුත් මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පැහැදිලි හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තිබෙනවා. වත්මන් රජය කෙරෙහි ඇති විශ්වාසය නිසාම ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය විශාල බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත්ව සිටිනවා. විශේෂයෙන් මානව හිමිකම් සුරකින රටක් ලෙසට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිගැනීමකට ලක්ව තිබීම ඉතාමත් සතුටට කරුණක්" යැයිද සඳහන් කර සිටියේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජී.එස්.පී. සහනය හරහා ශ්‍රී ලංකාව වෙත ලැබෙන 15% ක අපනයන බදු සහන හේතුවෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමට අපේක්ෂා කරන බවයි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පසුගිය 2016 වර්ෂයේදී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 13,932 ක් ශ්‍රී ලංකාව විසින් අපනයනය කර ඇති අතර, ඉන් ලද ආදායම රුපියල් මිලියන 21,539 කි.
එහිදී පසුගිය වර්ෂය තුළ සිදු කරන ලද සමස්ත මත්ස්‍ය අපනයනයෙන් යුරෝපා හවුලට අයත් රටවල් සඳහා මෙට්‍රික් ටොන් 1817ක්ද, වෙනත් යුරෝපීය රටවල් සඳහා මෙට්‍රික් ටොන් 515ක්ද, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මෙට්‍රික් ටොන් 4088ක්ද, ජපානය සඳහා මෙට්‍රික් ටොන් 1717 ක් සහ වෙනත් රටවල් සඳහා මෙට්‍රික් ටොන් 5796ක්ද අපනයනය කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාව අපනයනය කරන මත්ස්‍ය වර්ග අතරින් ටූනා මත්ස්‍යයන්ට විදේශීය වෙළෙඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින අතර, වර්තමානයේ 'ශ්‍රී ලංකා ටූනා' යන සන්නාමය යටතේ ටූනා මත්ස්‍යයන් අපනයනය කරනු ලැබේ.
අමාත්‍යාංශය වාර්තා කර සිටින්නේ පසුගිය 2016 වර්ෂය තුළදී ටූනා මසුන් මෙට්‍රික් ටොන් 7113 ක් ශ්‍රී ලංකාව විසින් අපනයනය කර ඇති බවයි. එමගින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 11,243 ක් බවද සඳහන් වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ටූනා මත්ස්‍යයන් සඳහා ජපානය තුළ වැඩි ඉල්ලුමක් පවතින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.