ජාවා මුහුදේ තිබී හමුවූ මළ සිරුරු සහ ගුවන් යානා සුන්බුන් පසුගිය ඉරිදා අතුරුදන් වූ ඉන්දුනීසියානු එයාර් ඒෂියා ගුවන් සේවයේ QZ8501 ගුවන් යානයේ කොටස් හා එහි ගමන් ගත් මගීන්ගේ සිරුරු බව එම ගුවන් සේවය තහවුරු කර තිබේ.
මේ අතර, ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් අණදෙන නිලධාරී බැම්බැන්ග් සොල්ස්ටියෝ සිරුරු 6ක් ගොඩගත් බව පවසන අතර, කලින් නාවික හමුදාව සඳහන් කළ සිරුරු 40 පිළිබඳ සඳහනක් නොකරයි.
එයාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නැන්ඩේස් මෙම සිදුවීමෙන් තමන් දැඩි කම්පනයකට පත්ව සිටින බව පවසයි.
මේ අතර, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මාධ්‍ය අමතමින් පවසා සිටියේ සියලුම මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සිරුරු සොයා ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි.
එයාර්බස් A320-200 දරණ මෙම යානය පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා ගමන් අරඹා මද වේලාවකින් එහි ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩලයේ 162 දෙනෙකු සමග අතුරුදන් විය.