ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිවම තරග කරනවා සේම පත්වන පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේද තනිවම බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කඩේ බඩු විෂ සහිත බවත්, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් යැයිද එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනුයේ මෛත්රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බව සහ හවුල් ආණ්ඩුව එක්ව ගෙවී ගිය මාස කිහිපය තුළ පවත්වාගෙන ගිය කඩයේ බඩුත් ෂුවර් නොමැති බව යැයි පවසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන කතාව අද වනවිට රටට ඔප්පුවී තිබෙන බවත්, මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ වටා විශාල පිරිසක් මේ වනවිට ඒකාරාශී වී සිටින බවත් ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.
මේ හරහා ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ නියෝජන ප්රමාණය ඉහළ යන බවත්, එහෙත් ජනතා පැතුමන් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ජනතා විමුක්ති පෙරමුණ තනි කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.