කන්තලේ වැව, කලා වැව, මින්නේරි වැව සහ පරාක්‍රම සමුද්‍රය යටතේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ජලය හිඟකමින් විනාශ වී යෑමේ අවදානමකට ලක් වුවද මොරගහකන්ද ජලාශයේ පවතින ජලය නිකුත් කිරීම පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
අදාළ ජලාශය තුළ ජලය අක්කර අඩි 80,000කට අධික ප්‍රමාණයක් ඇතැයි වාර්තා වන අතර, මෙම ජලාශය මගින් මෙම වැව් හතරට සහ සමුද්‍රයට ජලය මුදාහැරීමේ හැකියාව තිබේ. එහෙත් වී වගා කර තිබෙන ජල මූලාශ්‍ර වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සතු වීමත්, මොරගහකන්ද ජලාශය මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවතීමත් මෙම ගැටලුවට හේතු වී ඇත.
මොරගහකන්ද ජලාශයේ පවතින ජලය නිකුත් කර විනාශ වීමේ අවදානමට ලක්ව තිබෙන කුඹුරු රැකගැනීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ වාරිමාර්ග ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ජලාශය තම විෂය පථයට අයත් නොවන බවයි.
එහෙත් මෙම ගැටලුව පිළිබඳ ජල කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු පවසා සිටියේය. ජලය නිකුත් කිරීමට අවසර ලැබුණද, ජලාශයේ වාන් දොරටු ඉහළින් පැවතීම නිසා ජලය අක්කර අඩි 40,000කට වැඩි ප්‍රමාණයක් ජලාශය තුළ රැඳී තිබෙන බවත්, මේ නිසා ජලය නිකුත් කිරීමට හැකිවන්නේ අක්කර අඩි 40,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.