වෙළඳ පොළෙහි අලෙවි කරන ඇතැම් පානීය ජල බෝතල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු රැසක් පවතින බැවින් පානීය ජල බෝතල් නිපදවීමේ සියලුම කර්මාන්තශාලා හදිසි පරීක්ෂාවට ලක්කිරීමට විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් යොදවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. බොරුල්ල වෛද්‍ය පර්යේෂණායතනයේදී ජල බෝතල් ඇසුරුම් කර්මාන්තකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ජල බෝතල් ඇසුරුම් කර්මාන්ත සංඛ්‍යාව 100 පමණ වන අතර, කර්මාන්ත අලුතින් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ ව්‍යාපාර ක්ෂේත්රය දුර්වල කිරීමට හෝ අඩපණ කිරීමට හෝ අවහිර කිරීමට පියවර නොගන්නා බවත්, වෙළඳ පොළෙහි අලෙවි කරන ජල බෝතල් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන අතර ඒ පිළිබඳව විමර්ශනය කිරීම අමාත්‍යාංශ වගකීමක් බවත්ය.
ලියාපදිංචි පානීය ජල බෝතල් කර්මාන්තකරුවන් 59 දෙනෙකු පමණක් මෙම වැඩසටහනට සහභාගී වී සිටි අතර, සාකච්ඡාවට නොපැමිණි ආයතන ප්‍රථමයෙන්ම පරීක්ෂා කිරීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ආහාර පාලන හා ශාරීරික සෞඛ්‍ය ඒකකයේ නිලධාරීහුද සහභාගී වූහ.