ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිල සංචාරයක් සඳහා අද (07දා) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වීමට නියමිතය.
ජපන් අග්‍රාමාත්‍යවරයෙකු ලංකාවට පැමිණෙන්නේ වසර 24කට පසුව වන අතර, පසුගිය වසරේ මාර්තු මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ කරන ලද සංචාරයේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනාවකට අනුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසෙයි.
ජපන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තය ඒ මහතා අතින් විවෘත වීමට නියමිතය.
මෙම සංචාරයේදී ජපන් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. එහිදී දෙරට අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් පුළුල් කරමින් ජනාධිපතිවරයා සහ ජපන් අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු නිරීක්ෂණ චාරිකාවක නිරත වන අග්‍රාමාත්‍යවරයා එදින රාත්‍රී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ශ්‍රී ලංකා හා ජපන් ව්‍යාපාරික හමුවට සහභාගී වන අතර, එහිදී ජපන් හා ශ්‍රී ලාංකික ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.
මීට අමතරව ජනාධිපති ආර්යාව සහ ජපන් අග්‍රාමාත්‍ය ආර්යාව ඇතුළු නියෝජිත පිරිසක් ලක්සල සහ මට්ටක්කුලිය කාල්ටන් ළදරු පාසල නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වීමට නියමිතය.
ලබන 08 වැනි සඳුදා පෙරවරුවේ ජපන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.