සුළු ජන පක්ෂවල අදහස් නොසලකා හරින්නේ නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනිවාර්ය වශයෙන්ම පරාජයට පත් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමති රාවුෆ් හකීම් මහතා මහතා පැවසීය.
මාතලේ මහ නගර සභාවේ දී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.
" 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමේදී සුළු පක්ෂවල අදහස් නොසලකා හරින්නේ නම් මේ ඡන්ද ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව 12 දා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී රිෂාඩ් බදුර්දින්, දිගම්බරන් ඇමතිවරු සහ මම ඒ ක්‍රමයට විරුද්ධ වුණා. කෙටුම්පත සකස්කර ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සුළුජන පක්ෂ සමග සාකච්ඡා කළ යුතුව තිබුණා .
මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතුයි. සුළුජන පක්ෂවලට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මෙය පරාජය කිරීමට උපරිම ශක්තිය යොදනවා. මැතිවරණයේ ජය පරාජය කුමක් වුවත් සුළු ජනතාව නියෝජනය කරන පක්ෂවල ඉල්ලීමට කන්දීම රජයේ වගකීමක්. නිහතමානී දූරදර්ශී නායකයෙකු විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා සුළු ජන පක්ෂවල ඉල්ලීම නොසලකා හරින්නේ නැහැ. අපි පත් කළ ජනාධිපති අපිට එරෙහි නොවෙයි කියල හිතෙනවා.
මේ ඡන්ද ක්‍රමය කවදාකවත් සාර්ථක වන්නේ නැහැ . එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ බලය උදුරා ගැනීමේ බලඅරගලයක් තියෙන්න පුළුවන්. ඒත් ඒ නිසාම සුළු ජාතීන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උදුරා ගැනීමට ඉඩ දෙන්න බැහැ. "
රත්තොට - රුවන් ධනංජය