ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට පොදු විපක්ෂයේ පිරිස් අශුද්ධ වූ බොරුවක් රට පුරා ප්‍රචාරය කරන බවත්, එහෙත් රජයක් වශයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, එහෙත් ජනතාව තුළ වැරදි ආකල්පයක් නිර්මාණය කිරීමට මෙවැනි අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
පොදු විපක්ෂය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට අනතුරක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවට ඉදිරි දිනවල අසත්‍ය ප්‍රචාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු පැවසීය. මේ නිසා මැතිවරණ ආරක්ෂක කටයුතුවලට සහ රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පොලිස් නිලධාරීන් යොදවා, ඉතිරි පිරිස් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට යොදවන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව හමුදාපතිට හැකියාවක් තිබේ නම් හමුදා නිලධාරීන්ද යොදවා මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂා කරන ලෙස හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය දක්වන කිසිවෙකුත් අන් අපේක්ෂකයන්ට බාධාවන ආකාරයේ කටයුතුවල නිරත විය නොහැකි බවත්, ඒ සියලුම දෙනාට නීතියේ දඬුවම් ලැබෙනවාට අමතරව පක්ෂය විසින් විනයානුකූල පියවර ගන්නා බවද ඔහු පවසා සිටියේය.