සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ්රී ලංකාවට දීර්ඝ කාලීන ප්රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට හැකිවී ඇතැයි ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ඩ් (Ram Nath kovind) මහතා පැවසීය.
එමෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු දෙරට අතර පැවැති ආර්ථික, සංස්කෘතික හා වෙළෙඳ සබඳතාවලට නව ජවයක් ලැබුණු බවද ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ් මහතා අතර පෙරේදා (10දා) පස්වරුවේ ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්රපති භවන්හිදී පැවැති හමුවේදී ඉන්දීය ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගත් ඉන්දීය ජනාධිපතිවරයා නුදුරේදීම තමන් ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවද සඳහන් කළේය.