ජනාධිපති මෛත්රීපාල මහතාගේ කොළඹ පිහිටි නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමක් කුරුඳුවත්ත පොලීසිය ප්රතික්ෂේප කර තිබේ.
මෙම උද්ඝෝෂණය පැවැත්වීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා විසින් පසුගිය 27 වැනිදා කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙන් ලිඛිතව ඉල්ලා තිබුණු අතර, එයට පිළිතුරු වශයෙන් එම පොලිස් ස්ථානය විසින් ඊයේ දිනයේදී ලිඛිතව දන්වා ඇත්තේ එවැනි උද්ඝෝෂණයක් සඳහා අවසර ලබාදිය නොහැකි බවයි.
‘තරුණයන්ගේ යකඩ හීන තැළීම නතර කරනු‘යන තේමාව යටතේ ලබන 13 වැනිදා ගාලුමුවදොර පිටියේ සිට පාගමනින් පැමිණ ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට යතුරුපැදිකරුවන්ගේ සංගමය සැලසුම් කර තිබිණි.
ජනාධිපතිවරයා ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් මෙම උද්ඝෝෂණයට ඉඩ ලබාදිය නොහැකි බව කුරුඳුවත්ත පොලීසිය දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේ, කුරුඳුවත්ත පොලිස් ස්ථානය එවැනි තීරණයක් ලබාදී තිබුණද, සුපුරුදු පරිදි ලබන 13 වැනිදා පෙරවරු 9.30ට ගාලුමුවදොර පිටියෙන් විරෝධතා පාගමන ආරම්භ කරන බවත්, එය අවසන් කරන ස්ථානය හෙළි නොකරන බවත්ය.