ඡන්දදායකයින් වෙත මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබදව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. මැතිවරණ පනතේ අල්ලස් ඝණයේ වරදක්වන මෙය සුරාබදු ආඥා පනතේ (52 වන අධිකාරය) විධිවිධාන උල්ලංඝණය කිරීමක් ද වේ.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම ක්‍රියාවලිය මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් පමණක් නොව සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් වන බවයි.
ඕනෑම ආකාරය භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් වන අතර මේ ආකාරයට මත්පැන් ලබාදීම කිහිප ආකාරයකින් බලපෑම් එල්ල කරන්නක් බව ද ඒ මහතා සඳහන් කරයි. මත්පැන් නොමිලේ බොදා හැරීම මඟින් වැඩි ඡන්ද දායකයින් සහ ආධාරකරුවන් පිරිසක් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට අපේක්ෂකයින් කටයුතු කිරීම මැතිවරණ ව්‍යවහාරයන්ට පටහැනි වේ.
කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කොට ඇත.
මේ අතර මහමැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට කැෆේ සංවිධානය වෙත අද (16 දා) වන විට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 244 ක් වන අතර එයින් 224ක්ම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් වෙයි. තවත් 20ක් ප්රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇත.