සිංගප්පූරුවේ පැවති උපාය මාර්ගික අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර ආයතනය (International Institute for Strategic Studies –IISS) මගින් සංවිධානය කරන වාර්ෂික ෂැන්ග්රී ලා සම්මන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාට ප්රතිලාභ රැසක් හිමිවූ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.
මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර සුහද පිළිසඳරක් පැවැත්විය.
එහිදී චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයේ වැදගත්කම අවධාරණය කල රුවන් විජයවර්ධන අමාත්‍යවරයා, චීන රජය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත නොකඩවා ලබාදෙන පුහුණුවීම් , පාඨමාළා සහ වෙනත් ආධාර වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කළේය.
මේ වසරේ අග භාගයේ මෙරට පැවැත්වෙන චීන ශ්‍රී ලංකා ආරක්ෂක සාකච්ඡාවේ (Sri Lanka – China Defence Dialogue) දෙවන ආරක්ෂක සංවාදය සඳහා චීන දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිදුකරණ ලදී.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා , ශ්‍රී ලංකාව ඉතාම මිත්‍රශීලි රටක් බවත් , ශ්‍රී ලංකාව සහ චීනය අතර ඉතා උණුසුම් මිත්‍ර සබඳතාවයක් පවතින බවත් , ආරක්ෂක කරුණු ඇතුළු ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය තවදුරටත් ඉදිරියට ලබාදෙන බවත් ප්‍රකාශකර සිටියේය. මෙම සමුළුව මැයි පසුගිය 29දා ආරම්භවිය.